Pages

Tuesday, December 10, 2013

සත් ගුණවත් බාර් එක

කුකුලා අතේ තියාගෙන බාර් එකකට ගිහිල්ලා තියනවද???? ලඟදි දවසක බාර් එකක් අරිනකන් ඒක ඉස්සරහ බලන් ඉන්න උනා. කොහොම කොහොම හරි බාර් එකේ දොර අරිනකම් ඉඳලා ඇතුලට ගියාම එකේ ඉන්න එකා කියාපි පොඩ්ඩක් ඉන්න පහන තියලා එන්නම් කියලා..... මූ මල් තියලා පහන පත්තු කරලා හදුන්කූරු 2ක් අරගෙන බොතල් වලට දුම් ඇල්ලුවා. අඩන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරුව ගියපු එකයි මමයි මූණට මූණ බලාගත්තා.

අපේ මිනිස්සු සුභ දෙයක් පටන් ගන්නකොට ආගම දහමට මුල් තැන දෙන එක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි ඒ මුල් තැන දෙන එක කොතරම් දුරට දැනුවත් වීමකින් කරනවද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක් උනේ එදා. කරන්නම් වාලේ කරන දේවල් දිහා දැක්කම පවු කියලත් හිතෙනවා. කන්න ගියාම කබරයත් තලගොයා වෙනවා කියලා කතාවට කිවුවට දැන හෝ නොදැන හරි මෙහෙම දේවල් කරන එක තමන්ගේ ආගමටත් අගෞරවයක් නෙමෙයිද!



Thursday, November 28, 2013

ගංජා කාරයා

දුම් බීම හෘද්‍යාබාද ඇති කරයි කියලා පෙට්ටියේ කොච්චර ගහලා තිබ්බත් දවසකට ලංකාව ඇතුලේ සිගරට් කෝටි කීයක් විකිනෙනෙවා ඇත්ද! සෞඛ්‍යය ට කොච්චර හානිකර උනත් මොකක් හරි ආතල් එකක් තිට කොච්චර හානිකර උනත් මොකක් හරි ආතල් එකක් තියනවා නම් මිනිස්සු ඒ දිහා නොබලා ඒක මගහරින්නේ නෑ ගොඩක් වෙලාවට. දවසකට පාර අයිනේ, කඩ පේලියේ කොනක, වාහනයක් ගාව, නැත්තම් කොහෙ හරි අයිනක මිනිස්සු කී දාහක් සිගරට් බොනවද! අපි කොච්චර ඒ දේ දකිනවද???? ඒත් අපි ඒ දේ ගණන් ගන්නෙ නැත්තෙ ඒක අපිට හුරු පුරුදු දර්ශනයක් නිසා වෙන්න ඇති. හැබැයි කොල්ලො දෙතුන් දෙනෙක් මුල්ලකට වෙලා ජොයින්ට් එකක් ඔතනවා දැක්කොත් හරි ගහනවා දැක්කොත් හරි මොකද වෙන්නෙ????



කොල්ලෙක් එක පාරක් ගංජා පාරක් ගහනවා දැක්කොත් ඌ ගංජා කාරයා කියලා උගේ ජීවිත කාලෙටම හංවඩු ගහනවා...මේක කොච්චර දුරට සාධාරණද! ඇබ්බැහි වෙනවා කියන එක නිකම්ම වෙනවා කියල හැමෝම කිවුවට මමනම් ඒක කොහෙත්ම පිලිගන්නේ නෑ. ඇබ්බැහි වන එක නොවෙන එක තීරණය වන්නේ තමන්ගේ අවශ්‍යතාව මත මිසක් පාවිච්චි කරන දේ මත නෙමෙයි. දවසට සිගරට පැකට් 2, 3 බොන උන්ට මිනිස්සු සිගරට් කාරයා කියන්නේ නැත්තම් ඇයි මේහෙම ගංජා ගහන එකාට ලේබලයක් ගහන්නේ???? මම නම් සම්පූර්ණයෙන් ම විරුද්ධයි මේ කතාවට.

ගංජා වලට ඇබ්බැහි වෙනවා කියන එක නම් සම්පූර්ණ බොරුවක්.... මොකද ගොඩක් අය දැකලා තියෙන්න ගංජා ගහන උන් උනාට මම ගංජා නාන උන් වත් දැකලා තියනවා. හැබැයි ඒ මිනිස්සු "නැ බං අද බෑ, උබලා ගහපල්ලා" කියනවත් මට ඇහිලා තියනව.... ගංජා සුරුට්ටුවක් ඔතලා ගහන උන් මෙල්බොරො ග්‍රීන් එකක් බොනවා දැක්කොත් අපේ මිනිස්සු ඌට මුකුත් කියන එකක් නෑ සමහර විට..... මොකද මොන වැරැද්ද උනත් පොශ් විදියට කරනවා නම් අපේ උන්ට ඒක වැරැද්දක් විදියට පේන්නේ නෑන.

Saturday, November 9, 2013

තව හයියෙන් තව හයියෙන් ( faster baby faster )

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියත් වෙන දේ තාමත් තෙරුම් ගන්න බෑ ආයුබොවන්ඩ..... සංවර්ධනේ සංවර්ධනේ කිය කිය එක එක තැන් වල එක එක ඒවා අටෝනකොට අනේ සාදු අනේ සාදු කිය කියා ආස්චර්යයක් වෙනකන් බලන් හිටියා ඇරෙන්න වෙන්න යන්නෙ මොකකද කියලා හිතුවේ නෑනෙ....

තුන්වෙනි ලොකේ රටක් වෙච්චි කොට, මෙහෙව් මගුල් අටවන්න යන සල්ලි කන්දරාව දැක්කම ඔකෙන් ජුන්ඩක් රටේ තියන කුඹුරු ටික අස්වද්දන්න දුන්නා නම් මෙලහකටත් අටු කොටු පුරවන්න බැරි වෙන්න වී වත් ගන්න තිබුනා.... වැඩි හරිය රට පටවන්න හරි තිබුනා..... ඒදා වේල හම්බකරන් කන මිනිස්සු ණයට අරන් ගෙවල් හදන්නේ නෑ අයුබොවන්ඩ, හැදුවත් එදා වේල අමාරුවෙන් කන එකා කොහොම ඔවා ගෙවන්නද. අන්තිමට ණය ගත්ත එකාටම සින්න වෙන්න දෙනවා ඇරෙන්න... 


මම නූගත් එකා හින්දා මට මේවා නොතේරෙනවද මංදා, බස් එකේ සොච්චමක් දීලා යන එකටත් අහවල් එක කොරලා අදිවේගී පාරවල් හදලා මොකටද???? රටේ ඉන්න ඈයො ඔක්කොම සල්ලි වැක්කෙරෙන උන් නෙමෙයි නොවැ.... මාස් පඩි කාරයා ගෙවල් වලට කන්න දීලා ඉතුරු වෙන සොච්චම එකතු කලත් වාහන වල ගණන් ඇහුවම රොද හතරක් තියා තනි රොදයක් වත් ගන්න අවුරුද්දක් දෙකක් යනවා..... එහෙව් එකේ ඔය හදන් මගුල් වල සල්ලි දීලා පොඩි කාලේ වගේ ටයර් පදිනවා හැරෙන්න පොඩි එකා වෙන මක්ක කරන්නද...

Thursday, October 24, 2013

කොටු කොටු එක

කොටු කොටු තියන එවා නම් ගොඩක් ඇති. ඒ කොටු කොටු වලින් එක කොටු කොටු එකක් තමයි දැල කියල කියන්නෙ. සමහර ඒවා නම් කොටු කොටු නැතුව වෙන වෙන හැඩ වලටත් තියනවා. භාවිතා කරන ස්ථානය අනුව මේකේ ප්‍රයෝජන වෙනස්..... ඒක හරියට ධීවර කාර්මිකයෝ දැල දාලා මාලු අල්ලද්දි පෙදරේරුවො දැලක් උපයෝගී කරගෙන වැලි හලනවා වගේ.



එදිනෙදා ජීවිතේදි මේ දැල කියන එක කාන්තා පාර්ශවයටත් බොහෝ දුරට අදාල වෙනවා. හැබැයි ඒ දැල එලුවොත් කොහේ හරි ඉන්න අහිංසක පිරිමියෙක් අනාත වෙලා තමයි වැඩේ ඉවර වෙන්නේ. ගැලවෙනවා බොරු....... මාලුවෙක් දැලට අහු උනාම ඌ මැරිලවත් යනවා. ඒත් මේ දැලට අහුවෙන එකාට එහෙම වත් සැනසිල්ලක් හම්බවෙන්නේ නෑ. ඌ ජීවිත කාලේ ඉවර වෙනකන්ම විඳවනවා............. ඒ අතින් කාන්තා පාර්ශවයට දැල් එලීමේ හැකියාව උපතින්ම ලැබෙන දායාදයක් කියලා කියන්නත් පුලුවන්...... මේ ලොකේ බලවත්ම දැල ඕක වෙන්න ඇති කියලා තමයි හැමෝම කියන්නේ.

තියමුකො ඒ දැලත් පැත්තකින්...... ලොකේ ඔබ දන්න හොඳම දැල් කාරයා කවුද කියල ප්‍රශ්නයක් මතු උනොත් මොකක්ද දෙන උත්තරේ????? මගෙනම් උත්තරේ මකුළුවා..... හෙන ගේමක් දීලා පට්ට ලස්සනට දැල වියන්නේ ජීවිතේ ගැටගහගන්න උනත් ඒ උත්සාහයේ අවසානයේ තවත් ජීවිතයක් ගොදුරක් බවට පත් වෙනවා. කමක් නෑ, මකුලුවත් කන්න ඔනනේ, උටත් බඩක් තියනවනේ.

Saturday, October 12, 2013

අපේ ඊලඟ පරම්පරාව

ලෝකේ දවසෙන් දවස දියුණු වෙනවා, නව තාක්ෂනයන් එලියට එනවා..... මිනිස්සු දියුණු වෙනවා, සමහරු ඒ දියුණුවටම ඊර්ෂියා කරනවා...... හැබැයි මේ වෙලා තියන දියුණුව අපේ ඇස් වලට කඳුලු උනන තරමටම අපිට සතුටක් වෙලා..... ඒ උඹලා අපේම උන් නිසා...... මේ ලියන්නේ උබලා වෙනුවෙන්......

හැමදාම හැමතැනම වගේ වෙන්නේ කෙනෙක් දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් ඊලඟ පරම්පරාවේ එවුන් විනාස කරලා දාන එක.... ඒත් උබලා අපි ඒ අමාරුවෙන් ගොඩනගාගත්ත දේ උබලගෙ කැපවීමෙන් තව තවත් දියුණු කරලා තියනවා දකිද්දි ඇත්තටම සතුටුයි බං... ඒක බඩවැල කඩාගෙන නාවත් උබලා අපේම පොඩි උන් කියලා අපිට හැඟෙන්නේ උබලා  අපි කරපු කැපකිරීම්, හෙලපු දහඩිය ඒ විදියටම සමහරක් විට ඊටත් වඩා වැඩියෙන් කරන නිසා වෙන්නත් ඇති.... දෙමව්පියො දරුවන්ගෙ දියුණුවේදි කොච්චර සතුටු වෙනවද කියන ඒ හැඟීම දැනෙන්න අපිට තව ගොඩක් කල් තිබ්බත් ඒ හැඟීම අපේ හිත් වල උබලා ඇති කලා. ඊට වඩා මොනවා අපි උබලගෙන් බලාපොරොත්තු වෙන්නද මල්ලියේ!!!!!!

සමහර අපි ආදරේ කරපු දේවල් වල පල්ලට යන යුගයක, ඒ වලපල්ලට යන දේවල් දැකලා ඒ ගැන දුක් වෙන්න අපිට ඉඩ නොතියපු උබලා ඔක්කොටම පිං.... කටක් ඇරලා ආඩම්බරෙන් බලපන් අපේ පොඩි උන්ගේ වැඩ කියල අපි කියන්නේ හිතේ පුදුම සතුටකින්.



Friday, October 4, 2013

කෑල්ල

අපි ජීවිතේ ගැන මොනවා හිතන් හිටියත් අපි නොහිතන වෙලාවට අපේ ජීවිත් වලට එන මිනිස්සු අපේ ජීවිත වල තිබුන බලාපොරොත්තු වෙනස් කරන අවස්තා අනන්තයි....... නොහිතපු වෙලාවක් මගේ ජීවිතේට ආපු ඔයත් හරියට ඒ වගේ. සමහර විට මේක දෛවය වෙන්න ඇති... ඒත් මගෙ දෛවය මෙච්චර කුරිරු වෙන්න මම මොන පවක්ද කරලා තියෙන්නෙ කියලත් මට හිතෙනවා.



ඒ මම ඔයාව දැක්ක පලවෙනි දවස නෙමෙයි වෙන්නත් පුලුවන්, මීට කලින් ඔයා එහේ මෙහේ යනවා මම අනන්තවත් දකින්න ඇති, ඒත් ඔයා ගැන මට ආවේදනයක් නො එන්නට ඇති...... වලාකුලු වලින් හඳ වැහිලා තියනකොට අපිට පේන්නේ තරු විතරයි නේ, ඔයා වලාකුලු වල හැංඟිලා ඉද්දි මම සිකුරු තරුවක් දිහා බලාගෙන ඉන්නත් ඇති...... මමත් මනුස්සයෙක් නේ. අපේ යාලුවො අපිව අමාරුවේ දාන අවස්ථා එමටයි.... මාවත් මේ අගාදයට ඇදලා දැම්මේ මගේම සහෝදරයෙක් වගේ ඉන්න එකෙක්. මුල්ලකට වෙලා පිස්සුවක් කෙල කෙල ඉන්න වෙලාවක "ඔයි ඔය මොනවද ඔය, අර බලපන්කෝ අරකිගෙ ලස්සන, පට්ට කෑල්ල නේ"  මේ වචන ටික මාව දාන්න යන අමාරුවක තරම මම දැනගෙන හිටියනම් මම ඔකගේ කට ගලක උලලා මැහුම් දානවා ආයේ කතා කරන්න බැරි වෙන්න.... මොකද ඒ වචන පේලිය හින්දා හැරිලා බලපු මට තාමත් අහක බලන්න හම්බවුනේ නෑ..

ඇත්තටම ඔයා  "හෙන කෑල්ල" ද? එක එකා මොන මොන කතා කිවුවත් මටනම් එහෙම පේන්නේ නෑ.... ඒත් එහෙම වෙන්නත් ඇති, නැත්තම් මෙච්චර කොල්ලො ගොඩක් ඔයාගේ පස්සෙන් එන්නෙත් නෑනේ... ඒත් ඔයා දිහා බලන හැම වෙලාවෙම මට නම් පේන්නේ අහිංසක සුන්දරත්වයක් විතරයි... ඔයා දිහා ඒ බලපු පලවෙනි පාර මගේ හිතට ආපු හැඟීම තාමත් මට මොකක් ද කියලා තේරෙන්නේ නෑ. ඒ හැඟීමෙන් තාමත් මට මිදෙන්න හැකියාවකුත් නෑ.... මම හැමදාම උදේට එන්නේ ඔයා දඟල දඟල පොඩි  එකෙක් වගේ එහාට මෙහාට යන එක බලන්න. ඒ වෙලාවට ඔයා ගැන මට කොච්චර ආදරේ හිතෙනවද? මිනිස්සු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවලු.... ඇබ්බැහි වෙන්න මෙච්චර දේවල් ලෝකේ තියෙද්දි මම ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියලා මම තාම්ත් මගේන් අහනවා.

Sunday, September 22, 2013

පෙට්ටිය

පෙට්ටිය වූ කලී අමුතුම එකකි...... සමහරු පෙට්ටි කඩති, සමහරු පෙට්ටි කඩාගනී. තවත් කෙනෙක් පෙට්ටි සොයති. එකෙක් පෙට්ටියක් අරින කල තවත් එකෙක් පෙට්ටියක් වසයි....... මෙහෙව් වූ කල පෙට්ටියෙන් ඇති ප්‍රයෝජන බොහෝ වේ. පෙට්ටිත් එක්ක මොන මොන සෙල්ලම් දැම්මත් අන්තිමටම අපි හෑමෝටම පෙට්ටිය උරුම වේ...... උපතින් පෙට්ටි එකක් හෝ දෙකක්  දායාද කරගෙන එන අපි අන්තිමටම පෙට්ටියේම යන්නට යන්නෙමු.... ඒ පෙට්ටිය කැඩෙන්නේ නැත, සමහර විට කැඩෙන්නත් පුලුවන, ඒත් බොහෝ විට වෙන්නේ දිරා යාම හෝ අලුවී යාම පමණි....



ජීවත් වෙන අපි මරණයට පත් වූ විට අවසන් ගමන් යන මිනී පෙට්ටිය අද වෙනකොට බිස්නස් එකක්, තවත් විග්‍රහ කලොත් ආයොජනයක් බවට පත් වෙලා..... කොටින්ම කිවුවොත් මැරිල ගියාට පස්සෙ කනත්තට ගිහින් වලලන හෝ පුලුස්සා දමන මිනී පෙට්ටිය සමාජ තත්වය පිලිඹිබු කරන සංකේතයක් බවටත් පත් වෙලා ඉවරයි.. මැරිලා ගිය එකා 10,000 පෙට්ටියේ ගියත් 1,000,000 පෙට්ටියේ ගියත් වෙනසක් වන්නේ නැත, සමහර විට ඌ යන පෙට්ටිය පිලිඹදව තැකීමක් කරන්නේද නැත. මොකද ඒ ඌ ජීවිතයෙන් සමු අරගෙන සිටිනා නිසාය..

Friday, August 30, 2013

රැකියාව ජීවත් කරවීම

ලොකයේ පැරණිම රැකියාව කියන ගණිකා වෘත්තියෙන් පටන් ගත්තට පස්සෙ අද වන විට මේ ලොකේ එක එක ජාතිය රැකියා බිහිවෙලා තියනවා.... දවසෙන් දවස මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවත් එක්කම ඒ අවශ්‍යතා ඉටු කරන්න තව තව රැකියා අවස්ථා බිහි වෙනවා..



රැකියාවක අවශ්‍යතාවය මොකක්ද කියල ඇහුවොත්???? සරලම උත්තරේ වෙන්නේ මිනිසෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට කියන එක... හැබැයි ඒ උත්තරේ කෙතරම් දුරට නිවැරදිද කියල හිතලා බලපු අය ඉන්නවද? ඇත්තටම මිනිස්සු රස්සාවල් කරන්නේ ජීවත් වෙන්නද නැත්තම් රස්සාවක් කරන්න ජීවත් වෙනවද!

පාසල් යන කාලේ අපි හැමොම අපේ නිදහසට ගොඩක් ආස කලා.... ඒත් ඉගනීම අවසානයේ රැකියාවක් කරන තැනට ආවට පස්සේ ඒ නිදහස කියන එක අමතක වෙලා සල්ලි කියන දේ වටිනාකම නිදහසට තිබුන වටිනාකමට වඩා වැඩි වෙනවා. එතන ඉඳන් සල්ලි පස්සේ යන්න පටන් ගන්න මිනිස්සුන්ට ජීවිතය කියන දේ අමතක වෙලා ඉබේම යාන්ත්‍රික මිනිසුන් බවට පත් වෙනවා....  අන්තිමට ජීවත් වෙන්න සල්ලි හොයන්න පටන් ගත්ත මිනිස්සු සල්ලි හොයන්න ජීවත් වෙන්න පටන් ගන්නේ ඒ මිනිස්සුන්ටත් නොදැනිමයි. සල්ලි පස්සෙ හඹායන මේ ගමනේ කිසිම කෙනෙක් හැරිලා තමන්ගේ ජීවිතේ ගැන මොහොතකට හොයල බලන්න උත්සාහ ගන්නේ නෑ. තමන් කවදා හො මරණයට පත් වෙන බව තෙරුම් ගන්නේත් නෑ.

Thursday, August 22, 2013

අරකද මේකද ?

මනුස්සයෙක්ට ජීවිතේ වැඩියෙන්ම ඔනේ කරන්නේ මොනවද? 




මෙහෙම ප්‍රශ්නයක් කාට හරි යොමු කලොත් කිසිම කෙනෙක් ට එක පාර උත්තරයක් දීගන්න බැරුව ටිකක් වෙලා කල්පනා කරන්න වෙන්නේ අපි අපිට වැඩියෙන්ම ඔනේ දේ හිතාගන්න අමාරු හින්දා.... ඒ තරමටම අපේ අවශ්‍යතාවයන් වැඩී. මොකද අපි පෘතක්ජන මිනිස්සු නේ.

බොහොමයක් අයට ගොඩක් වෙලාවට සල්ලි කියන දේ උත්තරේ වෙයි..... සමහර අයට නීරෝගී කම, ආදරය, සෙනෙහස කියන වෙන වෙන උත්තර තියෙයි.  ඒ හැම මනුස්සයෙක් ම එකිනෙකාට වෙනස් නිසා.

මිනිස්සු දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් දුප්පත් අනිත් එක්කෙනා පොසත්...... දුප්පත් මනුස්සයා අනිත් කෙනා දිහා බලලා තමන් එයා වගේ උනා නම් කියලා හිතනකොට පෝසත් මනුස්සයා ඒකේ අනිත් පැත්ත හිතන්නත් පුලුවන්... සල්ලි වලට වටිනා කමක් තිබුනත් සල්ලි වලට කරන්න බැරි දේවල්, සල්ලි නිසා අහිම වන දේවල් බොහොමයක් තියනවා කියලා සල්ලි නැති මනුස්සයා නොදන්නවා උනාට සල්ලි තියන මනුස්සයා ඒක දන්නවා.... සල්ලි තියන මනුස්සයට හොඳ කරගන්න බැරි ලෙඩක් තියනවා නම් කොච්චර සල්ලි තිබුනත් ඔහුට ඒ දේවල් වලින් වැඩක් නෑ.... සල්ලි නැති මනුස්සයා සල්ලි නොමැතිකම හින්දාම ජීවිතේ විඳින්න වෙන දුක් කරදර ගැන දන්නවා, ඒ නිසාම ඒ මනුස්සයා සල්ලි වලට ඇලුම් කරනවා.

Monday, August 12, 2013

වෙනසක් අවශ්‍යය

එදිනෙදා ජීවිතේදි මිනිස්සු දිහා බලන් ඉන්න මට එක වෙලාවකට හිතෙනවා මුන් හැම එකාම ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ කියලා හිතාගෙනද කියල.... ජීවිත කාලේම එකම විදියට ජීවත් වෙලා මැරිලා යන මිනිස්සුන්ගෙන් කීයෙන් කි දෙනාටද ජීවිතේ ගැන දැක්මක් තියෙන්නේ.... කාර්යබහුලත්වය නිසාමද කොහෙද මිනිස්සුන්ට ජීවිතේ කියන්නේත් මොකක් ද කියලා අමතක වෙලා.... මේ පොස්ට් එක ජීවිතේ ගැන නම් නෙමෙයි, ලංකාව හා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන.

මේ යන විදියට ලංකාව තව අවුරුදු කීයක් තියෙයිද කියල හිතාගන්න වත් බෑ, ඒ තරමටම වෙන දේවල් බරපතලයි.... හැබැයි ඒ හැම දේකටම වඩා අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන හැටි දැක්කම ඊටත් වඩා බය හිතෙනවා.... අර කියනවත් වගේ අපේ මිනිස්සුන්ට ඔනෙම දෙයක් මතක හිටින්නේ මාස 2,3ක් විතරද කොහෙද....



එක කාලයන් අදහගෙන හිටපු උන් ටික දවසකින් වෙනස් වෙනවා, එක කාලයක් හොඳට තිබුන ඒවා ටික කාලයක් යනකොට නරක් වෙනවා, එක කාලයක් හොඳට හිටපු එවුන් කාලයක් යද්දි නරක වෙනවා... ඔන්න ඔකයි අද ලංකාවෙ තත්වය.

Monday, July 29, 2013

අඩු වයසෙන් වැඩේ දෙන්න

පටන් ගන්න කලින් කියන්නේ මේක කියවලා මට බනින්න නම් ලෑස්ති වෙන්න එපා.... සමහර විට මේ කියන්න යන දේ වැරදි වෙන්නත් පුලුවන්. එදිනෙදා ජීවිතේ දි මට දැනුන දෙයක මගේ විචාරය තමයි මේ...

මාතෘකාව ලංකාවෙ අධ්‍යාපනය

මෙක කියපු ගමන් කට්ටියට මතක් වෙන්නේ අපේ බින්දුල මාමයි සීබී මාමයි එකතු වෙලා පහුගිය කාලේ රඟපාපු ජවනිකා ටික තමයි... ඒ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ... මේ එතනිනුත් ටිකක් එහාට ගියපු කතාවක්.



ලංකාවේ අධ්‍යාපනය සඳහා ගතවෙන කාලය තරමක් වැඩී කියලා කාටවත් හිතෙන්නෙ නැද්ද? ඒ කිවුවේ පලවෙනි ශේණියට ඇතුලත් වෙන ලමයෙක් එ ලෙවල් ඉවර කරලා කැම්පස් ගිහින් එලියට එනකොට අඩුම වශයෙන් අවුරුදු 24ක් වත් වෙනවා... ඒකත් ඒ ලෙවල් පලවෙනි පාරෙන් කැම්පස් ගියොත් විතරයි.... මෙඩිසින් කරන අයට මේ කාලය තව අවුරුදු දෙකක් විතර වැඩි වෙනවා..... අවුරුදු 26ක් වත් වෙනවා..... සාමාන්‍යයෙන් ගත්තොත් ජීවිතෙන 3න් එකක් විතර. මේ ක්‍රමය කෙතරම් දුරට ප්‍රායෝගිකද?

Saturday, July 27, 2013

ගෙට්ටුවක් නැද්ද?

සයිබර් සිහින බක් මහ උලෙලත් ඉවර වෙලා මාස 4ක් විතර වෙන්න එනවා.... ලබන් මාසේ අන්තිම ඒ ලෙවල් ලියපු උන් ටිකත් ෆ්‍රී.... නැද්ද බ්ලොග් ලියන අය සෙට් වෙන්න අදහසක් ?  ?  ?

කට්ටිය සෙට් වෙලා ආයෙත් මොකක් හරි සංවිධානය කලොත් නරකද? පොඩි අයිඩියා එකක් නම් තියනවා.... හැබැයි වැඩේ ප්‍රායෝගික වෙයි ද දන්නෙ නෑ....

team work game event එකක් වගේ එකක් සංවිදානය කලොත් ! ලාවට විතර ඇඩ්වෙන්චර් තියන ( ගස් ගල් දිගේ බඩගාන, ලනු වල එල්ලිලා යන ඒවා නැතුව ), වයස් සීමාවකින් තොරව සහභාගී වෙන්න පුලුවන් ඒකක්.... වෙනදට වැඩිය ටිකක් විතර වෙනස් ගෙට්ටුවක්.... එකා වගේ වැඩ කරලා, එකිනෙකාට අභියෝගයක් දීලා, ජය පරාජය එක වගේ විඳගෙන, අන්තිමට කට්ටිය එකතු වෙලා සිංදුවක් දෙකක් කියලා ගෙදර එන්න පුලුවන් දවසක්...


Sunday, July 21, 2013

සෙක්ස් වලින් වෙන් කරමු

කරන්න වැඩක් නැතුව මනො පාරවල් ගගහා ඉන්නකොට එක එක විකාර හිතෙන එක සාමාන්‍ය දෙයක් නෙ..... මටත් ඔහොම වීකාරයක් හිතුනා.

ලිංගබේදය හින්දා එදිනෙදා ජීවිතේ අපිට නොයෙකුත් අනවශ්‍ය කරදර වලට ලක්වෙන්න, අනවශ්‍ය පීඩන වලට පත්වෙන්න් වෙනවනේ.... මේ හැම දේම වෙන්නෙ විරුද්ධ ලිංග තියන අය එකට ජීවත් උනොත් නෙ....

ගැහනු පිරිමි අය වෙන වෙනම වෙන කරලා ජීවත් වෙන්න ඉඩ දුන්නොත්? :O :O

මගේ මනෝ පාරේ හැටියට ලොකේ කෑලි තුනකට වෙන් කරන්න ඔනේ.... එක කෑල්ලක කෙල්ලො. වයස 12 විතර ඉඳලා වයස 22 විතර වෙනකම්.. අනිත් එකේ කොල්ලො ඒකත් වයස 12 ඉඳන් 24 විතර වෙනකන්.... අනිත් එකේ උඩ කියපු දෙකට අයිති නැති අනිත් ඔක්කොම මිනිස්සු... :P



Monday, July 15, 2013

බැඳීම, යැපීම, ජීවත්වීම

ඇත්තටම කෙනෙකුට තනියම ජීවත් වෙන්න පුලුවන්ද? මේ ප්‍රශ්නේ මගෙ හිතට ආවේ ලෙක්චර්ස් වලට පරක්කු වෙලා ඒක ඉවර වෙනකන්, ඉවර වෙලා සෙට් එක එලියට බහිනකන් පැත්තක තිබුන බෙන්ච් එකකට වෙලා ඇබ දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහ අහ ඉන්න අතරේ...

පොඩි කාලේ ඉඳන් අපි මැරෙන දවස් දක්වා කොච්චර බැඳීම් ඇති කරගන්නවද? ඒ ඇත්තටම අපිට තනියම මේ ලෝකේ ජීවත්වෙන්න අමාරු නිසා නෙමෙයි ද? මිනිස්සු වන අපි හැම වෙලේම හදන්නේ අපේ සමාජයීය සම්බන්දතා වැඩි කරගන්න.... ඒ මිනිසා කියන්න උපතින්ම සමාජයීය සත්වයෙක් හින්දා වෙන්න ඇති... හිතන්න මොහොතකට.... අපේ තියන සියලුම සම්බන්දතා එක පාරට නැති වෙලා ගියොත් අපිට මොනවා වෙයිද? ඒකත් හරියට උදේ ඇහැරෙනකොට කාන්තාරයක් මැද හිටියා වගේ හැඟීමක් වෙයි.

තනිකම කියන දේ ඇත්තටම මිනිස්සුන්ට දරාගන්න අමාරු දෙයක්.... මිනිස්සු සිය ගණනක් අතරෙ අඳුරන කිසිම කෙනෙක් නැතිව තනි වෙච්ච අවස්තාවල් බොහෝ දෙනෙක් ට ඇති.... ඒ වෙලාවට දැනෙන අපහසුතාව වචන වලින් කියන්න අමාරුයි.... කවුරු කොහොම කිවුවත් තමන් දන්න අය අතරේ ඉන්න එක, නාදුනන මිනිස්සු ගොඩක් මැද්දේ ඉන්නවට වඩා පහසු දෙයක්....



Sunday, July 7, 2013

චූ කරමුද ? ? ?

මේ දවස් වල හොට් හොට් ම නිවුස් එක කොලුවෙක් චු කරන්න ප්ලේන් එකේ දොර අරින්න හදපු කතාව.... ඒත් ඒ නිවුස් එකෙන් ඇත්තටම උනේ අපේ මාධ්‍යය කියලා බොඩ් එල්ලන් ඉන්න අයගේ නිරුවත ප්‍රදර්ශනය වුන එක විතරයි කියලයි මටනම් තෙරුනේ.... ලංකාවේ මාධ්‍ය කාරයන් ට අවශ්‍ය ජනප්‍රිය කාගේ හෝ රෙද්ද උස්සා තමාගේ වේල පිරිමහගන්නය...



කතාව ඇමති පුතෙක් අධික බීමතින් ගුවන් යානයක දොරක් ඇරීමට තැත්කිරීම ගැනය.... කතාවේ ඇත්ත නැත්ත මම ඇසින් නොදුටු නමුත් කියන්නා වූ කාරණාවන් පිලිඹද මාගේ තර්කයන් මෙසේය...


  • මම දැනුවත්ව කිසිම පුද්ගලයෙකුට අධික බීමතින් ගුවන් යානයකට ගොඩවීමට අවසර ලබා නොදේ... පෞද්ගලික ගුවන් යානාවල නම් කෙසේද කියා මම නොදනිමි. ගුවන්යානය තුල මත්පැන ලබාදෙන නමුදු පමණ ඉක්මවා ලබානොදීමට ඔවුන් වගබලා ගනී..

Monday, June 24, 2013

හිතන්න මොහොතකට

මේක අහම්බෙන් වගේ ඇස ගැටිච්ච වීඩියෝ එකක්.... ඒත් මේ විනාඩි ගානේ වීඩියෝ එකෙන් අපිට ගන්න  කොච්චර දේවල් තියනවද? මේ වගේ මිනිස්සු අපේ ඇස නොගැටි කොච්චර ජීවත් වෙනවා ඇත්ද?

මේ මිනිස්සුන්ට මොන දේ නොතිබ්බත් අපිට වඩා මනුස්සකම අතින්, ජීවිතයේ දැක්ම අතින් කොච්චර දියුණුද!

ඔහු නමින් දීපාල්, මේ ඔහුගේ කතාවයි...




දවසෙන් වැඩි හරියක් පාරෙ ඉන්න සත්තු වෙනුවෙන්, ඔවුන්ගේ කුසගින්න පිරවීම වෙනුවෙන් වැයකරන මොහු මෙසේ සත්කාර කරන්නේ අපගේම වැරදි වලට නොවේයිද? මිනිස්සුන්ගේම වැරැද්දෙන් අනාත වන අහිංසක සතුන්ට මිනිස්සුන්ට නොබැන ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් උපරිමය කරන මොහු අපිට වඩා කොපමන මිනිසත් කමෙන් පොහොසත් ද?

Wednesday, June 19, 2013

සොඳුරු රුදුරු අතීතය

අපි ජීවත් වෙන හැම මොහොතක් ම ගෙවිල ඉවර වෙනවත් එක්කම එවා අපේ අතීතයට එකතු වෙනවා.... ගෙවෙන හැම තත්පරයකටම අන්තිමට වෙන්නේ ඔය දේ තමයි.... කෙනෙක් ගෙ අතීතය කියන්නේ හරියට සල්ලි ගන්න බැරි බැංකු පොතක් වගේ.  දාන දාන එක එකතු වෙනවා ඇරෙන්නේ අපිට ඒවා අපහු ලබාගන්න බෑ. කරන්න පුලුවන් එකම දේ පොත දිහා බලලා සතුටු වෙන එක විතරයි..... හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ අපේ අතීතය කියන බැංකු පොතට එකතු වෙන්නේ සල්ලි කියන අපිව හැම වෙලේම සතුටු කරන්න පුලුවන් දේවල් නෙමෙයි හින්දා.... ඒ පොතට එකතු වෙන දේවල් අතරේ සතුට, දුක කියන දෙවර්ගයම ඇතුලත් වෙන්න පුලුවන්..



අතීතය කියන එකතුවට අපේ ජීවිත වල ගෙවුනු හැම තත්පරයක් ම ඇතුලත් උනත් ඇත්තටම කිසිම පුද්ගලයෙකුට ඒ හැම තත්පරයක් ගානේම නැවත මතක් කරන්න බෑ.... මොකද අතීතය කියන මතකයන් ගොඩට ඇතුලත් වෙන්න සමහර විශේෂ අවස්ථාවන් විතරක් නිසා... ඒ අවස්ථාවන් ගොන්නේ බොහෝ විට ඇතුලත්  වෙන්නේ අපේ හිතට වැඩියෙන්ම බැඳුනු, අපි වැඩිපුරම ආස කරපු දේවල් සහ අපිට දුකක්, පීඩාවක් ගෙන දුන්න දේවල්..... සමහර පුද්ගලයන්, ජීවිතේ වැඩිපුරම සතුටු උන අවස්ථා, අපි ගත්ත වැරදි තීරණ, අහම්බෙන් සිදුවුන සමහර සිද්දි ඒ වගේම සමහර දේවල් වලින් නූලෙන් බේරුන අවස්ථා, මේ වගේ දේවල් තොග ගණන් අපේ අතීත මතක් අස්සේ තියනවා... අතීතයට අයත් උන "හොඳ" හා "නරක" මතකයන් ගොන්නේ බහුතරය මත බොහෝ වෙලාවල් වලට අපේ අතීතය කටුක ද නැතිනම් සොඳුරු ද යන වග තීරණය කරනවා...

Saturday, June 8, 2013

අනේ මන්දා

වැඩ වැඩ ඉවරයක් නෑ... ඒ අස්සේ එක්සෑම් ගොඩ ගැහිලා...

කාලෙකින් මේ පැත්තට එන්නත් බැරිවුනා.... මකුලුදැල් කඩලා අස් පස් කරල ගන්න ඔනේ...


මේ දවස් වල මාර වැස්ස නේ!!!!!


තෙමිලා හෙම්බිරිස්සාව එහෙම හදා ගන්න එපා



Thursday, May 16, 2013

තවත් දවසක් II

පලවෙනි කොටස

"අනේ මංදා බං.. මට කරන කියන කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්නේ.. කවදා වෙනකම් මෙහෙම විඳවන්නද බං මම" මට කියවුනේ ඔය වචන ටික විතරයි..

"කොහොම හරි ට්‍රයි කරලා හිත හදාගනින් බං. වෙන මොනවා කරන්නද? උබ ඔහොම හිටියයි කියල කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑනෙ බං"



මටත් වෙලාවකට ඔය දේම හිතට ආවත් හිත හදාගන්න තියා උන දෙයක් හිතාගන්න වත් මට පුලුවන් කමක් තිබුනේ නෑ.... ඇත්තටම මගේ හිත ඇතුලේ මොලයයි හදවතයි කියන දෙක යුද්ද කරන්න පටන් අරන් තිබුනත් හදවතේ තියන හැඟීම් ඉස්සරහා මොලේ පරාද වෙලයි තිබුනේ... යතාර්තය කොච්චර හොදට දන්නවා උනත් ඒ දේ හිතට කාවදින්න හැඟීම් ඉඩ දුන්නේ නෑ.... බලාපොරොත්තු, අරමුණු කියන දේවල් නැති වෙන එක මරණයට වඩා අමාරුයි කියන එක මට තේරුනේ මේ හැම දේම සිද්ධ උනාට පස්සෙ.... ජීවත් වෙන්න හේතුවක් නැතුව ඉන්නවට ඉන්නවා කියන එක ඇත්තටම අමාරු දෙයක්.

"මම ජොබ් එකෙන් අයින් වෙනවා බං... මම ලංකාවේ ඉන්නේ නෑ. මෙහෙම ඉන්න ගියොත් මට පිස්සු හැදෙයි බං... ගෙදර උන්ට පේන්න තවත් මට හිනා වෙන්න බෑ. "

මේක අහපු ගමන් අරූ කිවුවේ " තොට පිස්සුද යකෝ?" කියලා

"උබ මෙහේ ඉඳලත් මෙහෙම නම් වෙන කොහෙ හරි රටකට ගියාම උබ මොනවා කරයි ද කියලා උබට හිතෙන්නේ නැද්ද? "

"වෙන මොනවා කරන්නද බං, මෙහෙ තියන ගහක් ගලක් දකිනකොට මට මතක් වෙන්නේ ඒකිව... මේ හැම දේම දැක දැක තවත් ඉන්නේ කොහොමද බං?  

Friday, April 26, 2013

තවත් දවසක්

උදේ 6 ට විතර එක පාරට ඇහැරුනේ පුරුද්දට වගේ වෙන්න ඇති...... ආපහු ඇස් දෙක වහගෙන කනා වගේ මෙට්ටෙ වටේට අත ගෑවේ ෆොන් එක හොයාගන්න. දෙපාරක් තුන්පාරක් අතගානකොට ඇඟිලි වලට අහු වුන ෆොන් එක අතට අරන් නිදිමත බේරි බේරි තිබුන ඇස් දෙක ඇරියේ හැමදාමත් වගේ උදේම එන ගුඩ් මොනිං මැසෙජ් එක බලලා රිප්ලයි එකක් දාන්න උනත් ජීවිතේ තිබුන හැම දෙයක් ම තවදුරටත් ලඟ නෑ කියල මතක් වෙන්න ඒ නිදිමත් ඇස් වලින් තවත් දවසක් ආලෝකය දැක්ක මට මතක් උනා... ඇස් වලට කඳුලු ඉනුවත් ඒ කඳුලු අස්සෙන්ම තව ටිකක් වෙලා නිදාගන්න ඇස් දෙක පියාගත්තේ ඇහැරලා කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දා...... මහ මූදේ රැලි වගේ අගක් මුලක් නැතිව, නිමාවක් නැතිව හිතට ගලාගෙන ආපු පරණ මතකයන් ඒ අහිංසක බලාපොරොත්තුවට යන්තමින් වත් ඉඩක් දුන්නේ නෑ.

නැගීටින්න පරක්කු උනාම මිස් කොල් පිට මිස් කොල් ගහලා ඇහැරවන ඔයා ඊට පස්සෙ කම්මැලියා කියල මට බනින හැටි මතක් වෙනකොටත් හිත කීරි ගැහිලා ගියා... ඒ ආයෙත් මට එහෙම කියන්න ඔයා මං ලඟ නැති හින්දා... හිතට ගලාගෙන එන මේ මතකයන් හින්දම තවත් නිදාගන්න බැරි තැන මම නැගිට්ටේ වැඩට යන්න වත් ඔනේ කියල හිතාගෙන... වෙනදට උදේ නැගිටලා කිරි එකක් හදාගන්න මට මේ දවස් දෙක තුනට ඒ පුරුද්දත් අමතක වෙලා ගිහින් තිබුනේ.... ටූත් බ්‍රශ් එක අතට අරන් බාත් රූම් එකේ කණ්නාඩිය ඉස්සරහට ගියේ දත් මැදලා ලෑස්ති වෙලා ඔෆිස් එකට යනවා කියල හිතාගෙන. ඒත් කණ්නාඩිය ඉස්සරහ හිටගත්තම මට කණ්නාඩියෙන් පෙනුනෙ ඔයාගේ මූණ... ඔයා ලස්සනට හිනා වෙලා මගේ දිහා බලන් ඉන්න විදිය. මම ඔයාගෙ නිල් පාට ඇස් දිහා කොච්චර වෙලා බලන් ඉන්න ඇද්ද... ඔයාගේ පිස්සු කතා වලට හිනා වෙවී ඔයා මගේ ලඟ හුරතල් උන හැටි මතක් වෙනකොට මට හිනා ගියේ මටත් නොදැනිමයි... බල්ලෙක් බුරන සද්දෙට එකපාරට ගැස්සිලා ගියපු මට මම ඉන්නෙ කොතනද කියල මතක් උනේ ඊට පස්සෙ..... ඔයාගේ මතකයන් වල කිමිදුන මට කාලට කියන එකත් නොදැනිම ගිහින් පැයක් විතර එතන හිටගෙන ඉඳලා...  වෙනදට විනාඩි 10ක් වත් හිටගෙන ඉන්න බැරි මට කකුල් වලට දැනුන වේදනාව නොතෙරුනේ හදවතේ තියන වේදනාව ඊට වඩා දහස් ගුණයකින් වැඩි නිසා වෙන්න ඇති..




ඔෆිස් යන්නත් පරක්කු නිසා වැලේ තිබුන ඩෙනිමක් දාගෙන ටී ශර්ට් එකක් දාගත්තේ කොහෙ හරි යනවා කියලා හිතාගෙන...

Saturday, April 20, 2013

සයිබර් සිහින බක් මහ උළෙල




දැන් ඉතින් යමන්කො හෙට මහරගම..... මුන් ගෙදර ඉන්න දවසේ වත් ටිකක් වැඩිපුර නිදාගන්න දෙන්නේ නැති හැටි බලහල්ලකො. කමක් නෑ ඉතින් හැමදාම නෑ හැම තැනම නැති නිසා නින්ද පැත්තකින් තියල එන්න තමයි ඉන්නෙ... කට්ටියම එයි කියලා බලාපොරොත්තු වෙනවා.. හෙට ගෙදර නෑ කියල අම්මගෙනුත් බර බරේ හොඳටම.... බොහොම අමාරුවෙන් ශෙප් කරගත්තෙ.

හෙට මොනවයෙන් මොනව වෙයිද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ... මොනා උනත් ගම්පහ ගෙට්ටුව වගේ ෆුල් ආතල් එකක් සෙට් වෙයිනෙ..

Wednesday, April 17, 2013

හැඟීම් හා යුතුකම අතර අපි

පලවෙනි කොටස මෙතනින්

නිදහස් නිවහල් අපේ රටක ජීවත් වෙන අපි ඇත්තටම අපේ දෙමව්පියො ඉස්සරහා නිදහස් ද? කොච්චර වයස ගියත්, කර දඬු උස් මහත් උනත් අපිට දෙමව්පියන්ගේ වචන වලට යට වෙලා ජීවත් වෙන්න වෙලා නැද්ද? යුතුකම්, වගකීම් කියන දේවල ගැන හිතලා ගොඩාක් වෙලාවට අපි එයාලට අවනත වෙනකොට සංස්කෘතිය කියල මගුලකුත් ඇවිත් අපේ බෙල්ල හිර කරනවා...මොන එහෙකට ලංකාවේ ඉපදුනාද කියල හිතුන වාර ගණන අනන්ත වෙන්න ඇති. ඒ අපි ෆිල්ම් වල දැකලා තියන ඒ නිදහසෙන් පොඩ්ඩක් වත් අපිට නැති නිසා..

පොඩි කාලෙ ඉඳන් පාට් ටයිම් ජොබ් එකක් හොයාගෙන කියක් හරි සාක්කුවට දාගෙන යාලුවොත් එක්ක රට වටේ ඇවිදලා එන්න, කැමති එකෙක් එක්ක ගෙදරටම කියල ලව් කරන්න... මේ දේවල් අපිට හීනයක් විතරයි. කමක් නෑ මේ ලංකාව නේ කියල හිත හදාගන්න පුලුවන් කොහොම හරි... ඒත් අපි අපේ හීන ඉස්සරහ අසරණ වෙන වෙලාවල් කොච්චර තියනවද?



තමන් කැමති එකෙක් කසාද බඳින්න ගියාම මෙහෙ කොච්චර අමාරුද? ලව් එක මාට්ටු වෙලා ගෙදරින් අම්බානට බැණුම් අහපු උන් කොච්චර ඇද්ද? අපිට ගැලපෙන කෙනා දන්නේ අපි උනාට ඒක කවදාවත් දෙමව්පියෝ තෙරුම් ගන්නවද? ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්න හොයාගන්න පුද්ගලයා හොයාගන්න ඔනේ තමන්ද නැත්තම් දෙමව්පියො ද? එයාලා බන්දලා දීලා පැත්තකට උනාම ඒකේ විපාක විඳවන්න වෙන්නේ තමන්ගේ අසරණ ලමයින්ට නේද කියල හිතන්නේ කීයෙන් කී දෙනාද? දෙමව්පියෝ දරුවන්ගේ යහපත ගැන, සතුට ගැන හිතනව කියලා හැමෝම කිවුවට ලමයින්ගේ සතුට දෙමව්පියන්ගේ කැමැත්තම නෙමේ කියලා එයාලා තෙරුම් ගන්නේ නැත්තේ ඇයි?

Saturday, April 13, 2013

අලුත් අවුරුද්ද




අවුරුදු නේ? අනේ මංදා...... සකල ලෝක වාසී හා ලංකාවාසී ජනතාවට කියන්න තියෙන්නේ ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන, කරදර භාදක දුරුවෙලා යන සතුට සාමය රජ කරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි...

හැබැයි ඉතින් අලුත් අවුරුද්ද කියන එකේ නියම තෙරුම වටහාගෙන ඒ අනුව ජීවිත හැඩගස්ස ගන්නවා නම් දවස් ගනන් සෙනඟ අස්සේ තෙරපි තෙරපි ඇඳුම් තෝරලා පැය ගනන් පොලිම් වල ඉඳලා ලෝකෙට පේන්න හොඳට කාලා බීලා ඇඳලා ඉඳලා ඊට පස්සේ ලොකු කේක් එකක් අරන් නෑදෑ ගෙවල් වල යනවට වඩා ඒක වටිනවා...

අර කියනවා වගේ අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඔනේ අපේ සිතිවිලි...... එහෙම නොකර මොන දේ අලුත් කලත් අන්තිමට ඉතුරු වෙන්නේ කලින් අවුරුද්දේ හිටපු පුද්ගලයම තමයි... ඒ නිසා තමන්ගේ තිබුන අයහපත් ගතිගුණ වලින් ඈත් වෙලා කලින් අවුරුද්දට වඩා යහපත් මිනිහෙක් විදියට අලුත් අවුරුද්ද සමරන්න පුලුවන්නම් එදාට අපේ මුලු රටටම ලිප ගිනි මෙලෙව්වේ නැතත් කිරි ඉතිරෙයි...


Monday, April 1, 2013

අයිතිය හා යුතුකම අතර අපි

ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්... ඒකට අර්ථකතනයක් දෙන්න මට තාම තෙරෙන්නේ නෑ. මව් කුසින් එලියට ඇවිත් මේ ලෝකේ එලිය දැකලා දෙමව්පිය ආදරය රැකවරණය යටතේ හැදිලා වැඩෙන අපේ ජීවිත ඇත්තටම අපිට අයිති ද? මේ කියන්න යන දේ ඇත්ත නැත්ත විනාඩියක් නැත්තම් දෙකක් හොඳට කල්පනා කරලා බලන්න... මම දැක්ක මට දැනිලා තියන දේවල් වල සාරාංශයක් මේ...

පොඩි කාලේ අම්මලා තාත්තලා අපේ පස්සෙන් හිටියේ හැමවෙලේම අපි දිහා ඇහැ ගහගෙන... මොකක් හරි දෙයක් කරන්න ගියාම '' හා හා බලාගෙන" අරක වෙයි මේක වෙයි කියලා පස්සෙන් ඉන්නේ අපිට තියන ආදරේට වෙන්න ඇති... ආසාවට වැස්සට තෙමිලා ගෙවල් වලින් බැනුම් අහගත්ත අය කොච්චර ඇතිද? ඒ පුංචි හිත් වල තියන ආසාවල් ලොකු අයගේ හිත් වලට දැනුනා හෝ නැතා හෝ එයාලා හැම වෙලේම පුංචි උන් කරන දේවල් දිහා බලන්නේ ඒ දේවල් වල අනතුරුදායක පැත්තෙන්.... සමහර වෙලාවට දෙමව්පියන්ගේ බැනුම් ගුටි බැට හින්දාම ඒ පුංචි හිත් වල තියන ආසාවල් ඒ හිත් ඇතුලෙම පරවෙලා යනවා ඇත්ද?



මම කියන්නේ නෑ පොඩි උන්ට මග පෙන්නන එක නරක දෙයක් කියලා... ඔව් දෙමව්පියො හැටියට උන්ට හරි මග පෙන්නන එක, හොඳ නරක කියාදෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඔනේ දෙයක්... ඒත් ලමයෙක්ට දූව්ලි වැදෙයි, නැත්තම් වැටිලා තුවාල වෙයි කියලා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න යවන්නේ නැති දෙමව්පියො කොච්චර ඉන්නවද? පියරු බබ්බු හදලා උන්ව සමාජයට යැව්වම උන් අසරණ වෙන විදිය දෙමව්පියො කවදාවත් හිතන්නේ නෑ... ගින්දර අල්ලන්න යන පොඩි එකෙක් ට "හා හා පිච්චෙයි" කියලා අල්ලන එක නවත්තන්න හදනවට වඩා යන්තම් හරි ඌට ගිනි රස්නේ ඇඟිල්ලට දැනෙන්න අරින එක හොඳ නැද්ද? මොකද පිච්චෙනවා කියන එක අත්දැකීමෙන් නොදන්න එකා කවදා හරි පුච්චගන්නකන් ගින්දරට තියන ආසාව අත අරින්නේ නෑ නේ....  මොනවා උනත් පොඩි කාලේ ලමයින්ගේ ජීවිත පාලනය කරන්න හදන එක කමක් නෑ කියමු. ඒ නොතෙරුම් කමට වැරැද්දක් කරන එකෙන් හරි අනතුරක් වෙන එකෙන් හරි වලක්වගන්න කරන උත්සාහයක ප්‍රතිපලයක් නේ.

Wednesday, March 27, 2013

නැවත පැමිණිමි

දන්නේම නැතුව මාසයකුත් ගෙවිලා ගියා... බ්ලොග් එක පැත්ත පලාතේ එන්න හම්බුනෙත් නෑ. සමහර වෙලාවට ඉක්මනට ගෙවෙන්නේ නැතුව අපිට ඇනයක් වෙන 'කාලය' සමහර වෙලාවට අපිටත් නොදැනිම ඉගිල්ලිලා යන්නේ අපේ ජීවිත වල කාර්යබහුලත්වය හින්දද නැත්තම් කාර්යබහුල අපේ ජීවිත වලට තවත් අභියොගයක් දෙන්නද කියල මට තෙරන්නේ නෑ....

විභාග එනකොට එන්නෙ එක පිට එක, පාඩම් කරන්න ගියාමත් එපා වෙනවා... එකකට පාඩම් කරන්න දෙන ගේම අස්සෙ තවත් එකක් ඒ පිට වැටුනහම හිතට දැනෙන ආතල් එක කියල නිමකරන්නත් බෑ... එකක් ගැන හිත හිත අනිත් එක පාඩම් කරනකොට අන්තිමට මතක හිටිච්ච දේකුත් නැති තරම්.....  ඒ මදිවට ජීවිතේට මූණදෙන්න වෙන ප්‍රශ්න!!!! මේ දෙවලුත් ඒ අස්සට එකතු උනාම ඇතිවන මානසික බලපෑම! මේ හැම දේම මැද්දේ පිස්සු නොහැදි ඉන්නවා කියන්නේත් ලොකු දෙයක්...





මෙහෙම පටන් ගන්නම්

හිතේ තියාගෙන හිටපු සමහර බලාපොරොත්තු පැය දෙකකින් තුනකින් සුනාමියක් ඇවිත් නටඹුන් වෙච්ච නගරයක් වගෙ හෝදගෙන ගියාම ඊලගට කරන්නේ මොකක්ද කියල හිතනවා තියා වෙන්නෙ මොනාද කියලවත් හිතාගන්න බැරි තැනට වැටෙන්නෙ අපි කොච්චර දුර්වලයිද කියල අපිටම පෙන්වලා දෙමින්.. සමහර විට ඒ දුර්වල කමට වඩා සංවේදී කම කියල අර්ථ දක්වන්නත් පුලුවන්. ඒත් කොහොම අර්ථ දැක්වුවත් ඒ දෙයින් අපිට වෙන බලපෑම ඉතා බලවත්.

Monday, February 18, 2013

මාටිං, විනිසුරු හා ස්ත්‍රී දූශණය


ඔන්න එක ගමක හිටියලු මාටිං කියලා පොරක්. මූ හෙනම කුම්භාණ්ඩයලු... මොකක් හරි කුපාඩි වැඩක් උනොත් මුගේ කෑල්ලකුත් කොහෙන් හරි ගෑවිලා තියන එක අනිවාර්යයයි....

එක දවසක් උදේ පාන්දරක හෙන ගැහුවා වගේ පොලීසියෙන් පාත් උනාලු මුගෙ ගෙදරට.. උදේ පාන්දර පොලිස් කාරයො ගෙමට බහින්නෙ නෑ කියලා දන්න හින්දා මූ කලින් දවසේ ගෙනත් තිබුන බඩු වගයක් ගෙදර පිටිපස්සෙ තිබිලා පොලීසියට මාට්ටු... මාට්ටු උනේ වෙල් ෆැන්ටා පෙරන්න ඔනේ කරන බැරල්, කන්ඩෙන්සර්, බට වගේ ඒවා. හැබැයි වෙල ෆැන්ටා නම් කොහෙවත් තිබිලා නෑ...........


පොලිසියෙ උනුත් පොරගෙ හැටි දන්න හින්දා කිසි කතාවක් නැතුව මූව කුදලං ගිහින් කූඩුවට දාලා නඩුවක් දාලා මුට විරුද්ධව... ඊලඟ දවසෙ උදේම මූව උසාවියට දාලා. නඩුකාරයත් කිසිම දෙයක් අහන්නෙ නැතුව මූ ව වැරදි කාරයා කරලා..

"තමා ලඟ කසිප්පු පෙරන්න ඔනේ බඩු තිබිලා තියනවා, තමා කසිප්පු පෙරීමට වැරදි කරුවෙක්"

"නිදහසට කාරණා තියනවද?" කියල ඇහුවලු.

මෙකා ගත් කටටම කියපි "මම කසිප්පු පෙරීමට වරදකරු නම් ඔබතුමා ස්ත්‍රී දූශණයට වැරදි කරුවෙක්" කියලා



මේක අහපු ගමන් නඩුකාරයට ඌරු ජුවල් ලු. ඇයි යකො වැරදි කාරයෙක් කිසිම බයක් සැකක් නැතුව මෙහෙම කියන්න කොහොමද! මේකට හේතුව දැනගන්න ඔනෙ උනාලු නඩුකාරයට.

"තා එසේ කීමට හේතුව කුමක් ද?"

Tuesday, February 5, 2013

වෙන්ඩ සුපර් මෑන් අයියා වෙත...

සුපර් මැන් අයියේ, ඔයාගේ නම කියනකොටම ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ඕනේ එකෙක් දන්නවා නෙ ඔයා මොන වගේ සුපර් බුලට් එකක් ද කියලා.... සුපර් මැන් කිවුවම හැමෝම ඔයාව දන්නවා උනාට ඔයාගේ ඇත්ත නමින් ඔයාව දන්න අයත් ඕනේ තරම් ඉන්නවා... මම සදාචාර සම්පන්න නිසා ඔයාගේ නම නොකියා ඉන්නම්... එත් නොකියා බැරි ටිකක් තියන හින්දා තමයි මෙක ලියන්නේ..



පුන්චි කාලේ සුපර් මැන්ලා, බැට් මැන්ලා, ස්පයිඩර් මැන්ලට ආස කරපු මට ටිකක් ලොකු වෙනකොට තේරුන එකම දේ උන් කාඩ්බෝඩ් වීරයෝ කියන එක විතරයි... රොකට් එක වගේ උඩින් යනකොට, කාර් වෑන් උස්සන් උඩින් යනකොට, මකුලු දැල් විදිනකොට, බිල්ඩින් දිගේ බඩගානකොට මම ඒවා දිහා බලන් හිටියේ කටත් ඇරගෙන.. ඒත් ලොකු වෙනකොට දිගට තිබුන කන් දෙක කොට වෙලා තවදුරටත් හාවො නෙමෙයි වයසට ආපුවහම තමයි තෙරුනේ ඒ හැම දෙයක් ම අමූලික බොරුවක් කියන එක.. මොන දේ උනත් ඒ කාඩ්බොඩ් වීරයන්ට මම තාමත් ආදරෙයි... ඒ කාඩ්බොඩ් උනත් ඒයාලගෙ සාරාංශය කවදාවත් වෙනස් උනේ නැති නිසා. ඒ අයගෙන් මම වැඩියෙන්ම ආදරේ කලේ සුපර් මෑන් ට.... හේතුව නම් මතක නෑ ඒත් මම දන්නෙ එච්චරයි... සුපර් මෑන් වෙන්න ආසාවට තුවායක් බෙල්ලෙ ගැටගහන් කී පාරක් ගේ වටේ දුවලා ඇත්ද මම... හැබැයි මම කලිසමට උඩින් යට ඇඳුම අදින්න තරම් මොඩ උනේ නම් නෑ...

ඔහොම කාලය ගෙවිලා ගිහින් මම බ්ලොග් වලට සෙට් උනා.... ලියන්න ගත්තෙ පස්සෙ උනාට කියවන්න පටන් අරන් ගොඩක් කල්. ඔහොම කියව කියව ඉද්දි තමයි බ්ලොග් ලොකයේ මම ආසා කරන සුපර් මෑන් ලා, ස්පයිඩර් මෑන්ලා හම්බවුනේ. ඇස් දෙකෙන් දැකලා නැති උනාට පොඩි කාලේ  ටීවී එකේ දැක්ක ඒ වීරයන්ට වගේ මමත් ඔයාලට ආසා කලා, ආදරේ කලා.... ඒ කියවපු දේවල් වලින් ඔයාලා ගැන රියන් ගානක් උස ආකල්පයක් මගේ හිතේ තිබුනා... මමත් ඒ වගේ වෙන්න උත්සාහ කලා. ඒත් ඒ වීරයොත් අර වගේම කාඩ්බොඩ් වීරයො කියලා මට දැන් හිතෙනවා.. ඒ ඔයා හින්දා වෙන්ඩ සුපර් මෑන් අයියේ.

Tuesday, January 29, 2013

ගෙට්ටුව තමයි ගෙට්ටුව...

මේ දවස් වල නම් මට අපල කාලයකි.... අපල උඩට හෙන හත ගහනවා වගේ මගේ දැලෙත් වේගය මුන් අඩු කරලය. ගූගල් දෙවිතුමා ලෝඩ් වෙන්නත් පැය ගානක් යන්නේය. අප්ලොඩ් කරන්න පින්තූර තිබුනත් එස් එල් ටී කෙනෙහිලි කම් නිසා මා අසරණ වෙලාය. මොක උනත් අදනම් මේක ලියල ඉවර කරලා මිසක් මෙතනින් නොනැගිටිමි යන අධිෂ්ඨානය සිත් දැරිව මම වැඩේට බැස්සෙමි.

මාතෘකාව මේ දවස් වල හොට් හොට් එකමය. එනම් ගෙට්ටුවය.....



ඇත්තම කිවුවොත් තාමත් ඇගට අමාරුය... එකට ප්‍රධාන හේතුව ස්කුබියාය. දුවන්නට කියපු වෙලාවේ කට්ටියටම ඇවිදගෙන යමුයි කියපු මේ ගෙවලයා කට්ටියම ගොනාට අන්දා දුවන්නට පටන් ගත්තේය. ඉස්කෝලේ කාලේ දුවල තියන ඒවා මතක් කරගෙන මමත් හුරේ රන් එකක් දුන්නත් අතුරුපල හම්බවුනේ ඊට  පසු දින හවස් වරුවේය.

උදේම පුටු පුටුවත් අරන් මල්වත්තට එන ගමන් මම වල රජාට කෝල් එකක් අරන් උබ කොහෙද බං කියා ඇසුවේ පොඩි කාලේ ඉදන් දන්න ඌ මම බ්ලොග් ලියන උන් ගෙන් හොදටම දන්න එකා නිසාය. ඌ මල්වත්තේ ගේට්ටුව ඉස්සරහය.... ඌ ගවේෂකයාවත් පටවගෙන ඇවිත්ය. මුන් දෙන්නත් එක්ක පාර්ක් එකට ඇවිත් වැඩි වෙලාවක් යන්නට ඉස්සෙල්ල කටුගෙයින් උස්සපු බයිසිකලයක සිරා කඩන් පාත් විය. එකා දෙන්නා බැගින් කට්ටිය 80ක් විතර අන්තිමට සෙට් විය...

Sunday, January 13, 2013

අලුත් පාරක

ජීවිතේ හෙන ගැහුවා වගේ එකපාරටම වෙනස් වෙනකොට වෙන්නේ මොනවද උනේ මොනවද කියල අපිටම හිතාගන්න බැරි වෙනවා... ඒකත් අපි නොහිතන වෙලාවට කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් වෙනකොට.


හවස් වෙනකොට ජීවිතේ අනිත් පැත්ත පෙරෙලන බව නොදන්න මම සුපුරුදු ලෙසම උදේ පාන්දර ඇහැරිලා ක්ලාස් යන්න ලෑස්ති වෙලා කොච්චියට ආවෙ පුරුද්දටම වගෙ... නිදිමතේ වැනි වැනි කොච්චියට නැග්ග මට හැමදාමත් වගේ දකින ඒ ලස්සන හිනාව දැක්කට පස්සේ තිබ්බ නිදිමතත් ඔඩික්ලොන් වගේ වාශ්ප වෙලා ගියා... දවසේ සුන්දරම අඩ හොරාවට සමු දීලා මම කොච්චියෙන් බැස්සෙ ක්ලාස් එකට ගිහින් සෙට් එකක් එක්ක ෆන් එකක් අරන ලෙක්චර් එකටත් අමාරුවෙන් හරි ඉඳලා ගෙදර එනවා කියල හිතාගෙන.. ඔහොම ක්ලාස් එකට ගිහින් වැඩි වෙලාවක් යන්න හම්බුනේ නෑ මට කොල් එකක් ආවා...

" හෙලො මේ කතා කරන්නේ ^#%&#%@$ එකෙන් ඔයාගෙ පත්වීම ගන්න අද එන්න"

මට උතුර දකුන මාරු උනා. මුට මොනවා කියන්නද කියල හිතලා " මට අද නම් එන්න වෙන්නේ නෑ, මම හෙට එන්නම්" කියල කිවුවෙ ඇපෙන් බේරෙන්න.. කොහොමත් ඔකට යන්නේ නෑ කියල ගෙදරටත් කියල තිබුන හින්දා නිකමට වගේ අම්මටත් කතා කරලා කිවුවා,

"අරෙහෙන් කතා කලා ගිහින් වැඩක් නෑනෙ මම හවස ගෙදර එනවා කියල"

Wednesday, January 2, 2013

යුරේකා යුරේකා

ඔන්න පටන් ගන්න කලින්ම කිවුවා මෙක මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් වත් අපහාසයක් වත් නොව, එදිනෙදා ජීවිතේදි කණට වැටිච්ච කතාවක නැවත විකාශයක් පමණි...... ආගම් බේද අපි අතරෙ නැති උනත් මේක ගොඩක් ම අදාල වෙන්නේ බෞද්ධ අයට..


බෞද්ධ දර්ශනය අනුව අපේ අවසාන ඉලක්කය සසරෙන් එතෙර වෙන එක, නැත්තම් නිවන් අවබොධ කරගන්න එක.... ඒ වෙනුවෙන් අපි  අපේ ජීවිත ධර්මය අනුව හැඩගස්ස ගෙන මෙ සංසාර ගමන කෙටි කරගන්න එකනේ..

"ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම රකිනු ලැබේ"  මේක අපිට නුහුරු නුපුරුදු වාක්‍යක් නෙමෙයි...
ඒත් මෑත කාලෙ සිද්දවෙන දෙවල් දිහා බැලුවම වෙන්නේ මේ දේ අනිත් පැත්ත කියලා හැමෝම දන්නවා ඇතිනේ... ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙන්නේ, විඳවන්නේ, කරදර සිද්දවෙන්නෙ හොඳ ධර්මානුකූල් ජීවිත ගතකරන අයට... ඇයි මෙහෙම වෙන්නෙ? දහ අතේ කල්පනා කරල මම උත්තරේ හොයාගත්තා...

හෙතුව කියන්න කලින් මේක කියලා ඉන්න ඔනේ...

1. හරක් ගාලක පාලකයෙක් ඉන්නවා, මේ මනුස්සයා හරක් ටික කොටුවක දාලා තමයි තියාගෙන ඉන්නෙ. ඒත් කොටුවෙ වැට එච්චර ශක්තිමත් නෑ. ඒක හින්දා හරක් කොටුවෙන් පැනලා යන එක වලක්වන්න උන් ආස තනකොල උන්ට ගෙනත් දෙනවා, ඔනේ එපකම් හොයලා බලනවා. ඔය අස්සෙ පැනලා මාරුවෙන්න හදන උන්ට කෑ ගහලා ආපහු ඇතුලට එලවනවා, බැරිම උනොත් පොල්ලක් අරන් තඩිබානවා... මේක තමයි මේ මිනිහා ජීවත් වෙන්න කරන රස්සාව.