Pages

Friday, April 26, 2013

තවත් දවසක්

උදේ 6 ට විතර එක පාරට ඇහැරුනේ පුරුද්දට වගේ වෙන්න ඇති...... ආපහු ඇස් දෙක වහගෙන කනා වගේ මෙට්ටෙ වටේට අත ගෑවේ ෆොන් එක හොයාගන්න. දෙපාරක් තුන්පාරක් අතගානකොට ඇඟිලි වලට අහු වුන ෆොන් එක අතට අරන් නිදිමත බේරි බේරි තිබුන ඇස් දෙක ඇරියේ හැමදාමත් වගේ උදේම එන ගුඩ් මොනිං මැසෙජ් එක බලලා රිප්ලයි එකක් දාන්න උනත් ජීවිතේ තිබුන හැම දෙයක් ම තවදුරටත් ලඟ නෑ කියල මතක් වෙන්න ඒ නිදිමත් ඇස් වලින් තවත් දවසක් ආලෝකය දැක්ක මට මතක් උනා... ඇස් වලට කඳුලු ඉනුවත් ඒ කඳුලු අස්සෙන්ම තව ටිකක් වෙලා නිදාගන්න ඇස් දෙක පියාගත්තේ ඇහැරලා කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දා...... මහ මූදේ රැලි වගේ අගක් මුලක් නැතිව, නිමාවක් නැතිව හිතට ගලාගෙන ආපු පරණ මතකයන් ඒ අහිංසක බලාපොරොත්තුවට යන්තමින් වත් ඉඩක් දුන්නේ නෑ.

නැගීටින්න පරක්කු උනාම මිස් කොල් පිට මිස් කොල් ගහලා ඇහැරවන ඔයා ඊට පස්සෙ කම්මැලියා කියල මට බනින හැටි මතක් වෙනකොටත් හිත කීරි ගැහිලා ගියා... ඒ ආයෙත් මට එහෙම කියන්න ඔයා මං ලඟ නැති හින්දා... හිතට ගලාගෙන එන මේ මතකයන් හින්දම තවත් නිදාගන්න බැරි තැන මම නැගිට්ටේ වැඩට යන්න වත් ඔනේ කියල හිතාගෙන... වෙනදට උදේ නැගිටලා කිරි එකක් හදාගන්න මට මේ දවස් දෙක තුනට ඒ පුරුද්දත් අමතක වෙලා ගිහින් තිබුනේ.... ටූත් බ්‍රශ් එක අතට අරන් බාත් රූම් එකේ කණ්නාඩිය ඉස්සරහට ගියේ දත් මැදලා ලෑස්ති වෙලා ඔෆිස් එකට යනවා කියල හිතාගෙන. ඒත් කණ්නාඩිය ඉස්සරහ හිටගත්තම මට කණ්නාඩියෙන් පෙනුනෙ ඔයාගේ මූණ... ඔයා ලස්සනට හිනා වෙලා මගේ දිහා බලන් ඉන්න විදිය. මම ඔයාගෙ නිල් පාට ඇස් දිහා කොච්චර වෙලා බලන් ඉන්න ඇද්ද... ඔයාගේ පිස්සු කතා වලට හිනා වෙවී ඔයා මගේ ලඟ හුරතල් උන හැටි මතක් වෙනකොට මට හිනා ගියේ මටත් නොදැනිමයි... බල්ලෙක් බුරන සද්දෙට එකපාරට ගැස්සිලා ගියපු මට මම ඉන්නෙ කොතනද කියල මතක් උනේ ඊට පස්සෙ..... ඔයාගේ මතකයන් වල කිමිදුන මට කාලට කියන එකත් නොදැනිම ගිහින් පැයක් විතර එතන හිටගෙන ඉඳලා...  වෙනදට විනාඩි 10ක් වත් හිටගෙන ඉන්න බැරි මට කකුල් වලට දැනුන වේදනාව නොතෙරුනේ හදවතේ තියන වේදනාව ඊට වඩා දහස් ගුණයකින් වැඩි නිසා වෙන්න ඇති..




ඔෆිස් යන්නත් පරක්කු නිසා වැලේ තිබුන ඩෙනිමක් දාගෙන ටී ශර්ට් එකක් දාගත්තේ කොහෙ හරි යනවා කියලා හිතාගෙන...

Saturday, April 20, 2013

සයිබර් සිහින බක් මහ උළෙල




දැන් ඉතින් යමන්කො හෙට මහරගම..... මුන් ගෙදර ඉන්න දවසේ වත් ටිකක් වැඩිපුර නිදාගන්න දෙන්නේ නැති හැටි බලහල්ලකො. කමක් නෑ ඉතින් හැමදාම නෑ හැම තැනම නැති නිසා නින්ද පැත්තකින් තියල එන්න තමයි ඉන්නෙ... කට්ටියම එයි කියලා බලාපොරොත්තු වෙනවා.. හෙට ගෙදර නෑ කියල අම්මගෙනුත් බර බරේ හොඳටම.... බොහොම අමාරුවෙන් ශෙප් කරගත්තෙ.

හෙට මොනවයෙන් මොනව වෙයිද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ... මොනා උනත් ගම්පහ ගෙට්ටුව වගේ ෆුල් ආතල් එකක් සෙට් වෙයිනෙ..

Wednesday, April 17, 2013

හැඟීම් හා යුතුකම අතර අපි

පලවෙනි කොටස මෙතනින්

නිදහස් නිවහල් අපේ රටක ජීවත් වෙන අපි ඇත්තටම අපේ දෙමව්පියො ඉස්සරහා නිදහස් ද? කොච්චර වයස ගියත්, කර දඬු උස් මහත් උනත් අපිට දෙමව්පියන්ගේ වචන වලට යට වෙලා ජීවත් වෙන්න වෙලා නැද්ද? යුතුකම්, වගකීම් කියන දේවල ගැන හිතලා ගොඩාක් වෙලාවට අපි එයාලට අවනත වෙනකොට සංස්කෘතිය කියල මගුලකුත් ඇවිත් අපේ බෙල්ල හිර කරනවා...මොන එහෙකට ලංකාවේ ඉපදුනාද කියල හිතුන වාර ගණන අනන්ත වෙන්න ඇති. ඒ අපි ෆිල්ම් වල දැකලා තියන ඒ නිදහසෙන් පොඩ්ඩක් වත් අපිට නැති නිසා..

පොඩි කාලෙ ඉඳන් පාට් ටයිම් ජොබ් එකක් හොයාගෙන කියක් හරි සාක්කුවට දාගෙන යාලුවොත් එක්ක රට වටේ ඇවිදලා එන්න, කැමති එකෙක් එක්ක ගෙදරටම කියල ලව් කරන්න... මේ දේවල් අපිට හීනයක් විතරයි. කමක් නෑ මේ ලංකාව නේ කියල හිත හදාගන්න පුලුවන් කොහොම හරි... ඒත් අපි අපේ හීන ඉස්සරහ අසරණ වෙන වෙලාවල් කොච්චර තියනවද?



තමන් කැමති එකෙක් කසාද බඳින්න ගියාම මෙහෙ කොච්චර අමාරුද? ලව් එක මාට්ටු වෙලා ගෙදරින් අම්බානට බැණුම් අහපු උන් කොච්චර ඇද්ද? අපිට ගැලපෙන කෙනා දන්නේ අපි උනාට ඒක කවදාවත් දෙමව්පියෝ තෙරුම් ගන්නවද? ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්න හොයාගන්න පුද්ගලයා හොයාගන්න ඔනේ තමන්ද නැත්තම් දෙමව්පියො ද? එයාලා බන්දලා දීලා පැත්තකට උනාම ඒකේ විපාක විඳවන්න වෙන්නේ තමන්ගේ අසරණ ලමයින්ට නේද කියල හිතන්නේ කීයෙන් කී දෙනාද? දෙමව්පියෝ දරුවන්ගේ යහපත ගැන, සතුට ගැන හිතනව කියලා හැමෝම කිවුවට ලමයින්ගේ සතුට දෙමව්පියන්ගේ කැමැත්තම නෙමේ කියලා එයාලා තෙරුම් ගන්නේ නැත්තේ ඇයි?

Saturday, April 13, 2013

අලුත් අවුරුද්ද




අවුරුදු නේ? අනේ මංදා...... සකල ලෝක වාසී හා ලංකාවාසී ජනතාවට කියන්න තියෙන්නේ ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන, කරදර භාදක දුරුවෙලා යන සතුට සාමය රජ කරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි...

හැබැයි ඉතින් අලුත් අවුරුද්ද කියන එකේ නියම තෙරුම වටහාගෙන ඒ අනුව ජීවිත හැඩගස්ස ගන්නවා නම් දවස් ගනන් සෙනඟ අස්සේ තෙරපි තෙරපි ඇඳුම් තෝරලා පැය ගනන් පොලිම් වල ඉඳලා ලෝකෙට පේන්න හොඳට කාලා බීලා ඇඳලා ඉඳලා ඊට පස්සේ ලොකු කේක් එකක් අරන් නෑදෑ ගෙවල් වල යනවට වඩා ඒක වටිනවා...

අර කියනවා වගේ අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඔනේ අපේ සිතිවිලි...... එහෙම නොකර මොන දේ අලුත් කලත් අන්තිමට ඉතුරු වෙන්නේ කලින් අවුරුද්දේ හිටපු පුද්ගලයම තමයි... ඒ නිසා තමන්ගේ තිබුන අයහපත් ගතිගුණ වලින් ඈත් වෙලා කලින් අවුරුද්දට වඩා යහපත් මිනිහෙක් විදියට අලුත් අවුරුද්ද සමරන්න පුලුවන්නම් එදාට අපේ මුලු රටටම ලිප ගිනි මෙලෙව්වේ නැතත් කිරි ඉතිරෙයි...


Monday, April 1, 2013

අයිතිය හා යුතුකම අතර අපි

ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්... ඒකට අර්ථකතනයක් දෙන්න මට තාම තෙරෙන්නේ නෑ. මව් කුසින් එලියට ඇවිත් මේ ලෝකේ එලිය දැකලා දෙමව්පිය ආදරය රැකවරණය යටතේ හැදිලා වැඩෙන අපේ ජීවිත ඇත්තටම අපිට අයිති ද? මේ කියන්න යන දේ ඇත්ත නැත්ත විනාඩියක් නැත්තම් දෙකක් හොඳට කල්පනා කරලා බලන්න... මම දැක්ක මට දැනිලා තියන දේවල් වල සාරාංශයක් මේ...

පොඩි කාලේ අම්මලා තාත්තලා අපේ පස්සෙන් හිටියේ හැමවෙලේම අපි දිහා ඇහැ ගහගෙන... මොකක් හරි දෙයක් කරන්න ගියාම '' හා හා බලාගෙන" අරක වෙයි මේක වෙයි කියලා පස්සෙන් ඉන්නේ අපිට තියන ආදරේට වෙන්න ඇති... ආසාවට වැස්සට තෙමිලා ගෙවල් වලින් බැනුම් අහගත්ත අය කොච්චර ඇතිද? ඒ පුංචි හිත් වල තියන ආසාවල් ලොකු අයගේ හිත් වලට දැනුනා හෝ නැතා හෝ එයාලා හැම වෙලේම පුංචි උන් කරන දේවල් දිහා බලන්නේ ඒ දේවල් වල අනතුරුදායක පැත්තෙන්.... සමහර වෙලාවට දෙමව්පියන්ගේ බැනුම් ගුටි බැට හින්දාම ඒ පුංචි හිත් වල තියන ආසාවල් ඒ හිත් ඇතුලෙම පරවෙලා යනවා ඇත්ද?



මම කියන්නේ නෑ පොඩි උන්ට මග පෙන්නන එක නරක දෙයක් කියලා... ඔව් දෙමව්පියො හැටියට උන්ට හරි මග පෙන්නන එක, හොඳ නරක කියාදෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඔනේ දෙයක්... ඒත් ලමයෙක්ට දූව්ලි වැදෙයි, නැත්තම් වැටිලා තුවාල වෙයි කියලා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න යවන්නේ නැති දෙමව්පියො කොච්චර ඉන්නවද? පියරු බබ්බු හදලා උන්ව සමාජයට යැව්වම උන් අසරණ වෙන විදිය දෙමව්පියො කවදාවත් හිතන්නේ නෑ... ගින්දර අල්ලන්න යන පොඩි එකෙක් ට "හා හා පිච්චෙයි" කියලා අල්ලන එක නවත්තන්න හදනවට වඩා යන්තම් හරි ඌට ගිනි රස්නේ ඇඟිල්ලට දැනෙන්න අරින එක හොඳ නැද්ද? මොකද පිච්චෙනවා කියන එක අත්දැකීමෙන් නොදන්න එකා කවදා හරි පුච්චගන්නකන් ගින්දරට තියන ආසාව අත අරින්නේ නෑ නේ....  මොනවා උනත් පොඩි කාලේ ලමයින්ගේ ජීවිත පාලනය කරන්න හදන එක කමක් නෑ කියමු. ඒ නොතෙරුම් කමට වැරැද්දක් කරන එකෙන් හරි අනතුරක් වෙන එකෙන් හරි වලක්වගන්න කරන උත්සාහයක ප්‍රතිපලයක් නේ.