Pages

Monday, December 31, 2012

නොකිවුවයි කියලා කියන්න එපා

2012 ගෙවිලා ඉවර වෙලා 2013 ලබන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඔන්න එහෙනම් ලෝක වාසී සියලු ජනතාවට ලබන්නා වූ 2013 වසර සුබම සුබ වසරක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... වැඩි බයිලා නැතුව සරලම විදියට කිවුවා.....



2012 අවුරුද්ද මොන විදියට ගෙවුනත් 2013 තමන් ප්‍රාර්තනා කරන විදියට හොඳින් ගතකරන්න ලැබේවා කියල මම ප්‍රාර්තනා කරනවා.... අවුරුද්දක් ගෙවිලා ඉවර වෙද්දි ඒ අවුරුද්ද ගෙවුන හැටි බලලා ඒ අවුරුද්දේ වැරදුන තැන් ආයේ එහම වෙන්නේ නැති වෙන්නත්, උන හොඳ දේවල් ඒ විදියටම ඉස්සරහට කරගෙන යන්නත් අපි හැමෝටම පුලුවන්... ඒක තමයි ජීවිතෙන් ඉගෙනගන්නවා කියන්නේ...

තමන්ගේ ජීවිතේ දිහා තමන්ම ආපහු පාරක් හැරිලා බලලා තමන්ගේ ජීවිතේ තිබුන නරක දේවල් මොනවද කියලා තෙරුම් අරන් ඒ නරක අඩු කරගන්නත් තිබුන හොඳ ගතිගුණ වැඩි කරගන්නත් 2013 ලබන වෙලාවෙ හිතට ගත්තොත් යම් තරමකට හරි ඒ දේ ලඟා කරගන්න හැමෝටම පුලුවන් වෙයි.... එහෙම වෙනවනම් ඒක කොච්චර දෙයක් ද?

අපි හැමෝටම බලාපොරොත්තු තියනවා... ඔයාලා හැමොටම තමන් බලාපොරොත්තු වන ඉලක්කයට යන්න හම්බවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා... කවුරු මොන උදැල්ල දැම්මත් චේතනාව පිරිසිදු නම් කවදාවත් වරදින්නෙ නෑ...


Monday, December 24, 2012

රාමුවෙන් ඔබ්බට

"ආදරය" කොච්චර අර්තකතන දුන්නත් කොච්චර් විවෙචන කලත් මේ වචනෙට පැහැදිලි එක් නිර්වචනයක් දෙන්න අපි කාටවත් හරියට බෑ.. කට්ටිය කොච්චර විස්තර කලත්, කොච්චර බ්ලොග් ලිව්වත්, ආදරේ කලත් කවදාවත් කියල වත් ලියල වත්, කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක් තමයි "ආදරේ" කියන්නේ... මේ එහෙව් ආදරේ තවත් එක් පැත්තක්.....




Love at First Sight, එහෙමත් නැත්තම්  අපේ බාසාවෙන් කියනවනම් පලමු ඇස ගැටීමෙන් ඇතිවන ආදරය..... බලන්න කී දෙනෙකුට මේ දේ දැනිලා ඇද්ද? කී පාරක් වෙලා ඇද්ද? සමහර වෙලාවට සමාජයේ ජීව්ත්වෙන මිනිස්සුන්ගේ හිත් වල මෙහෙම හැඟීම් දවසකට කී දාහක් ඇතිවෙනවද? ඒත් ඒ හැඟීම් ගොඩක් වෙලාවට, විනාඩි ගානකට, පැය ගානකට එහෙමත් නැත්තම් දවස් ගානකට සීමා වෙච්ච හැඟීමක් නෙමෙයි ද? බොහෝ වෙලාවට මඟතොටේ දි, සාප්පු සංකීරණේකදි, නැත්තම් උත්සවයකදි.... මේ වගේ වෙලාවක අහම්බෙන් ඇස ගැටන(සමහර වෙලාවට තත්පර ගානකට සීමා උන ) කෙල්ලෙක්\කොල්ලෙක් ගැන මෙහෙම හැඟීම් ඇති වෙන්න ඇයි?  බොහෝ වෙලාවට ඒකට ප්‍රධානම හේතු වෙන්නෙ 'ලස්සන', 'හැසිරීම', 'විලාසිතාව' වගේ භෞතික හේතු... ඒ හෙතු නිසාම අපි ඒ පුද්ගලයව තවකෙකුට විග්‍රහ කරන සාමාන්‍ය වචන වෙන්නෙ 'පට්ට', 'පිස්සු හැදෙනවා', 'මැක්සා' වගේ වචන.... ජීවිතේ කිසිම දවසක හමුවෙලා නැති පිටස්තරයෙකුට හිතේ ආදරය කියන හැඟීම ඇත්තටම ඇතිවෙන්න පුලුවන්ද? ඇයි එහෙම බැරි...! ඇස පිනවන දේවල් වල ගැටෙන අපේ පෘතක්ජන හිත් ඒ දේවල් වල ඇලී ගැලෙන්නේ අපිටත් පාලනය කරගන්න බැරි විදියට... එහෙව් අපේ මිනිස් සිත් වලට මෙහෙම හැඟීම ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්...

Wednesday, December 19, 2012

වරදක්ද......?





අහම්බෙන් වූ හමුවීමක්

නිසා ඇතිවූ මිතුදමක්

කාලයත් එක්කම් ඇතිවූ සහොදර බැදීමක්

නිසා හිරකරගත් හැඟීමක්

වෙර දරයි යලිත් නැඟී සිටින්නට

කොටුකර තිබූ පවුරු බිඳගෙන

අහෝ අසරණ සිත

Friday, December 14, 2012

අරින ඇරිල්ලක්...

තාත්තලගේ අම්මලගේ සිරිත ඉල්ලන දේවල් අරන් දිදී ළමයි නරක් කරන එකනේ.... යටගිය දවස බරණැස් නුවර කවුද මන්දා රජ කරන කාලේක් අපේ ග්‍රාමසේවක මහත්තයත් ඔය වගේම තමයි... පොඩි එවුන්ට මොනවද ඔනේ කොහොම හරි ඒ දේවල් දීලා පොඩි උන්ව සතුටු කරනවා... එක අතකින් ඒව්ගේ තාත්තා කෙනෙක් හම්බවෙන්නත් වාසනාව තියෙන්න ඔනේ... මොකද අපි ඔහොම බූරුවෝ වගේ මොකක් හරි ගොං දෙයක් ඉල්ලුවොත් අපිට හම්බවෙන්න කන හරහ නේ....




ඔන්න කොහොම හරි වැලේ වැල් නැතුව හිටපු එක කොල්ලෙක් දවසක් මේ ග්‍රාමසේවක මහත්තයට කිවුවලු "තාත්තේ, තාත්තේ මට ගමටම රූකඩ පෙන්නන ඔනේ කියලා" මූටත් එන ආසාවල් කියලා පහුවෙනි දවසේම ගමේ හංදිය මැද්දෙ මුලු ගමටම පේන විදියට කොල්ලට රූකඩ මඩුවක් දාලා දුන්නලු ග්‍රාමසේවක මහත්තයා. පොඩි එකා පවුනේ නැත්තම්... කොල්ලට දැන් මාර හැපි ලු, මූ හෝ ගාලා දැන් රූකඩ නටවනවලු. ඒත් ගමේ උන්ටත් හැමදාම එකම කුකුලගේ කරමලේ හැඩ බලන්න බැරි නිසා රූකඩ බලන්න එන අය අඩු උනාලු... මෙච්චර දවස් හැපි එකේ හිටපු කොල්ලා දැන් බලාගත්ත අත බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා දැකපු ග්‍රාමසේවක හාමිනේ මහත්තයට කිවුවලු " බලන්න අනේ කොල්ලා බලාගත්ත අත බලාගෙන හූල්ලනවා, පොඩ්ඩක් බලන්නකො" කියලා.

Tuesday, December 11, 2012

මායම්කාරී....



මතකය මුල් දවස ඔබ මගේ නෙත ගැටුන

                                           තවත් එක් කෙල්ලෙක්ය එදවස නුබ මෙමා හට

සිනහවට, බලන හොර බැල්මට ඇඳුනත් මගේ සිත

                                           තාවකාලික් විය සියලු හැඟුමන් ඇස ගැටුන නිමේශයකට



හැඩය නුඹ ඇත්තටම ඒ නිසයි බැලුවෙ මම

                                           කැත සිතින් නෙමේ ඒ පිරිසිදු චේතනාවෙන් ය

මතුවිනි අහිංසක ආශාවක් මගේ පෘතක්ජන සිත වෙතට

                                           ඔබ මගේ කරගන්න තුරුලේ හොවාගන්න

Tuesday, December 4, 2012

අපි කලුයි ද? අපේ කලුයි ද?

එදිනෙදා ජීවිතෙදි කෙල්ලොන්ට "කාන්තාව" කියන කෑල්ල හින්දා කොච්චර වාසි ලබාගන්නවද ලැබෙනවද? ඔනේම දෙකට එයාලට උදව් කරන්න ඉන්න කට්ටිය පෝලිම් ගණන්, ඒත් කොල්ලොන්ට? සමහර වෙලාවට තමන් විතරයි. හැම කෙනාම ප්‍රමුකත්වය දෙන්නෙ ගැහැනු අයට නෙ.  මම කියන්නේ නෑ එයාලට ප්‍රමුකතාව දෙන්න හොඳ නෑ කියලා ඒත් කෙල්ලෙක් උන පලියට හැම වෙලේම එහෙම චාන්ස් දෙන එක සදාචාර සම්පන්නද? ඊයෙ පෙරේදා බුකියේ කරක් ගහනකොට දැකපු පින්තුරයක් save කරලා තියාගත්ත පොස්ට් එකක් දාන්නමයි කියල ඒත් වෙලාවක් හම්බවුනෙ අද තමයි.



කොල්ලො ටික නම් මෙ කතාවට උඩ පැනලා එකඟ වෙයි..... මොකද කතාව සම්පූර්න ඇත්ත. නිකමට හිතලා බලන්න හැම වෙලෙම මේක නෙමෙයි ද වෙන්නෙ කියලා.

කෙල්ලො මොන දේ උනත් ගොඩක් වෙලාවට කරන්නෙ අඬන එකනේ. මොන හේතුව නිසා ඇඬුවත් කෙල්ලෙක් අඩනවා දැක්කම කට්ටියගෙම පපුව හොස් ගාලා යන්නෙ පරණ දුම් කොච්චියක් ස්ටෙසමට ඇවිත් බොයිලර් එකේ වෑල් එක ඇරියා වගේලුනේ.... කෙල්ලෙක් දුකින් ඉන්නකොට සනසන්න අපේ අය පෙල ගැහිලා ඉන්නේ, විශේෂයෙන් කොල්ලො... ඒත් කොල්ලෙක් දුකින් ඉන්නකොට උට ඉන්නෙ තමන් ලඟම හිටපු යාලුවො දෙතුන් දෙනා විතරයි. කෙල්ලෙක් අවුලෙන් ඉන්නකොට හොයාගෙන ගිහින් සනසන අය කොල්ලෙක්ගෙ අවුලකදි ලොවෙත් නෑ... දැන් කට්ටිය පටන් ගනී බොක්කෙන් ඉන්න කොල්ලො එහෙම නෑ කියලා, හරි එකෙක් දෙන්නෙක් එහෙම නැති උනාට හොඳට හිතලා බැලුවොත් බහුතරේ එහෙමනෙ.

Monday, November 26, 2012

මල් ශාලාවක් අතුගෑමි

මෙච්චර කල් මොන මොන ටකරන්, ටින්, බෙලෙක්ක කාලා තිබුනත් මෙහෙම එකක් කන්න උනේ පලවෙනි පාරට ඒකත් අහම්බෙන්.... වැඩේ අවුලක් නෑ වෙන තැනක උනා නම්, ඒත් ක්ලාස් එකක් තියන තැනක බස් හොල්ට් එකෙක් ඉස්සරහ? ඒකත් ක්ලාස් ඇරෙන වෙලාවෙම? ලස්සන ලස්සන සූටි ගැණු ලමයි ගොඩාක් ඉන්න වෙලාවක? ඇයි හත් දෙයියනේ මේවා මටම වෙන්නෙ?

මම හැම කෙනාටම කියන්නේ කවදාවත් කසාද බඳින්නේ නැතුව ඉන්න නම් එපා, එහෙම උනොත් සමහර විට කොහේ හරි ඉන්න මම වගේ අහිංසක හුරතල් කොලු පැටියෙක්ට මේ වගේ ගුජුප්සාජනක අවස්තාවකට මුහුණ දෙන්න තියන ඉඩකඩ වැඩී.



Monday, November 19, 2012

කෙලවීමෙන් සැනසීම

මේ දෙවෙනි කොටස ලියන්න හිටියේ දවස් 2 කට විතර කලින්, ඒත් පොඩි රවුමක් දාන්න උන හින්දා වෙලාවක් හම්බවුනේ අද.... පලවෙනි කොටස කියවපු නැති අය මෙතනින් කියවන්න....

ඇත්තටම අනිත් මිනිස්සු ගැන හිතන්න ගිහින් මිනිස්සු කොච්චර අමාරුවේ වැටෙන වෙලාවල් තියනවද? යහපත් කියන මිනිස්සු අනුන් ගැන හිතද්දි අයහපත් කියන මිනිස්සු අනිත් හොඳයි කියන මිනිස්සුන්ගෙ ඒ යහපත් ගතිගුණ ප්‍රයොජනයට අරගෙන තම්න් ගැන විතරක් හිතනවා. හිතල බලන්න අපි අතරෙ මේ දෙගොල්ලොන්ට අයත් අය කොච්චර ඉන්නවද කියල? ඉස්කොලවල් වල, පංති වල, යාලුවො සෙට් එකේ විතරක් නෙමෙයි ආදරය කරන අය අතර පවා මෙහෙම අය ඕන තරම් ඉන්නවා.



යාලුවො කියල එකතු උන සෙට් එකක් ගැන හිතල බලන්න, කොච්චර බොක්ක උනත් එතන තියන බොකු ඔක්කොම එක සමාන නෑ නෙද? සමහර වෙලාවට සල්ලි එකතු කරල මොකක් හරි කරන කොට සමහර උන් සල්ලි නෑ කියලා ශේප් වෙනවා, එහෙම මාරු වෙන උන් සල්ලි නැති උන් නෙමෙයි ගොඩක් වෙලාවට. ඒත් මේ අතරේ කොච්චර දුප්පත් උනත් අතේ තියන හැම සතේම දෙන උනුත් ඉන්නවා.... සමහර වෙලාවට කෙනෙක්ට කරදරයක් උනාම එකෙක් වත් නෑ.. සමහර උන් මොන කට්ටක් කන්න සෙට් උනත් උදවුවක් ඉල්ලුවහම මැරිල හරි ඒ උදවුව කරනවා. සමහර වෙලාවට අහන්නත් කලින් ඒ දේවල් කරලා ඉවරයි.. එත් බොක්ක හොඳ නැති උන් මොකක් හරි බොරුවක් කියල මාරු වෙලා යනවා... ගිහින් අන්තිම මොහොතේ ඇවිත් ලකුණු දාගන්නවා තිබුන වැඩ ටික දාලා ආවෙ කියලා. දවස් ගණන් මැරීගෙන දඟලපු උන්ට මහන්සිය විතරයි... ඒකත් පැත්තකින් තියමුකො, තමන්ට කරදරෙකදි හරි ඔනේ වෙලාවකදි හරි සිරාවටම උදවු කරපු උන්ව මතක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?

Wednesday, November 14, 2012

කෙලීම කෙලවීම හා කෙල කරගැනීම 1

ඇත්තටම මට මේ දේ තාමත් හරියට තෙරුම් ගන්න බැරි උන දෙයක්.... ඒත් හැමදාම මුහුන දෙන්න වෙන දේවල් දිහා බැලුවම මේ දේ ගැන දක්වන්න ඔනේ සැලකිල්ල වැඩි....

මේ දේවල් හැම තැනකටම පොදු නොවෙන්නත් පුලුවන්, හැම අවස්තාවකටම උචිත නොවෙන්නත් පුලුවන්... එක දෙයක් ගැන සලකා පමණක් මේ විග්‍රහය කරන බව සලකන්න...

මේ ලෝකය තුල මිනිස්සු කොතරම් ප්‍රමාණයක් වාසය කලත් ඒ ඒ පුද්ගලයන් විවිධ ආකාර වලට වර්ග කරන්න අපිට පුලුවන්.... දුප්පත් - පොසත්, සුදු - කලු, හොඳ - නරක්, ලස්සන - අවලස්සන., මේ එක එක විදියට මිනිසුන්ව වර්ග කර දක්වන්න පුලුවන්. ඒත් ඒ වර්ග කිරීම සාපේක්ශයි කියල හැමොම දන්න කාරණයක්.. ඒ ඒ වර්ග කිරීම් වර්ග කරන පුද්ගලයාගේ දෘෂ්ටි කොනය මත රඳා පවතින දෙයක්.... මමත් මේ කරන්න යන වර්ග කිරීම හුදෙක් මගේ දෘෂ්ටි කොනය මත රඳා පවතින දෙයක් නිසා මීට අසමාන මත දරණ පිරිසක් ද සිටිය හැකිය.....


මේ වර්ග කිරීම සිතිවිලි හා ක්‍රියා කලාපයන් මත හා ලෝකයේ සම්මත යයි පවතින තර්ක මත පදනම් වූ දෙයක්.

මේ ලෝකෙ මිනිසුන් කොට්ඨාශ 2ක් ජීවත් වෙනවා..


1.  බාහිර පුද්ගලයන් ගේ සුබසිද්ධිය තකා ඔවුන්ට ප්‍රතිලාභ වන ලෙස තමන් කටයුතු කරන පුද්ගලයින්

2.  තමාගේ සුබසිද්ධිය හා ප්‍රතිලාභ තකා බාහිර පුද්ගලයන් අතකොලුවක් කරගන්නා පුද්ගලයින්


Tuesday, November 6, 2012

ලස්සන නිසාම කැන්දන් ආවට...

ඊයෙ දවල් යලුවෙක් ගෙ මාලු ටැංකියක ලීක් එකක් කියල ඒක අලවන්න දෙන්න ටිකක් ලොකුවට කරගෙන යන සුරතල් මසුන් විකුණන තැනකට ගියා.... අපිටත් සතෙක් දැක්කම බලන්නෙ නැතුව ඉන්නම බෑනෙ. ටැංකියත් පැත්තකින් තියල අපි ගියා මාලු බලන්න...... එතන ජොඩුවක් රුපියල් 25 ඉදලා එකෙක් රුපියල් 50000 වෙනකම් මාලු ජාති හිටියා. ඔන්න ඔය අස්සෙ තමයි ටැංකියක දාලා හිටපු පුංචි ඉබි පැටව් වගයක් දැක්කෙ. ඇත්තටම දැක්කම ආසා හිතෙනවා... ගණන් අහපුවහම එකෙක් 350 ලු... අතේ සල්ලි තිබුනෙත් නැති හින්දා තව ටිකක් වෙලා බල බල ඉදලා ගෙදර ආවා... එන ගමන් මගෙ යලුවට කිවුවා ගණන් වැඩි නැද්ද බං අර ඉබ්බො කියලා... ඒ පාර ඌ කියපි ගණන් වැඩි නම් තමයි බං, ඒත් සතෙකුගෙ උනත් ජීවිතෙකට ගාණක් කියන්නෙ කොහොමද බං කියලා.... ඇත්තටම අපි කොහොමද අපිට අයිති නැති ජීවිතයකට වටිනාකමක් ප්‍රකාශ කරන්නේ?





දැන් මේ මාලු ප්‍රශ්නෙදි 2 පැත්තක් තියනවා, එකක් මාලුවගේ පැත්ත, අනික අපේ පැත්ත...

Wednesday, October 31, 2012

සමනලයා දළඹුවා සහ අපි

මේ ලඟදි කොච්චියේ යනකොට අහම්බෙන් වගේ  A4 කොලේක print කරලා කොච්චි පෙට්ටියේ  අලවලා තිබුන වාක්‍යක් ඇහැ ගැටුනා.. කවුරු කලත් කරල තියෙන්නේ හොඳ වැඩක්. මොකද සමාජයේ හැම අස්සක් මුල්ලක් නෑරම තැලිල පොඩි වෙන මිනිස්සුන්ට තත්පරෙකට හරි හිතන්න යමක් ඒකේ තිබුනා.


සමනලුන් ට ආසයි නම් දළඹුවන්ට ආදරය කරන්න.....




අපි සමනල්ලුන්ට කොච්චර ආදරේ කලත් ආශා කලත්, කොච්චර වෙලා ගහෙන් ගහට, මලෙන් මලට පියාඹන ලස්සන පාට පාට සමනල්ලු දිහා බලන් හිටියත් ඒ ලස්සන සමනල්ලු හැදෙන්නේ දළඹුවෙක්ගෙන කියල මොහොතකට හරි මතක් වෙන්නෙ කීයෙන් කි දෙනාටද? දළඹුවන ව අප්‍රිය කරන අපිම ඒ දළඹුවගෙන් ම හැදෙන සමනලයව ප්‍රිය කරන්නේ කොහොමද? මොකද ඒ අපි අප්‍රිය කරන දළඹුවා නැති වෙන්න ලස්සන සමනලයෙත් බිහිවෙන්නෙ නැනෙ. සමනලයට ආසා කරන අපිට ඇයි බැරි දළඹුවටත් ආසා කරන්න?

Thursday, October 25, 2012

රතු කහ කොල සහ සුදු ඉරි...

උදේ පාන්දරම කුකුලත් අතින් අරගෙන රාලහමි පොලිස් බයික් එකට නැඟලා රාජකාරී වාර්තා කරන්න ඔනේ හංදියට යනවලු.... ඊට පස්සෙ බයික් එකත් කොහෙ හරි මුල්ලක නවත්තලා විසිල් එකත් කටේ ගහගෙන හන්දිය මැදින් හිටගන්නවලු. මෙච්චර වෙලා හොඳට තදබදයක් නැතුව තිබුන පාරෙ වාහන හසුරවන්න ගන්නවලු.. විනාඩි 2ක් යන්න කලින් කිලොමීටර් 2ක 3ක පොලිමක් හැදිලා ඉවරයි ලු.... වාහන වැඩි ප්‍රමානයක් ගමන් කරන පාර වැඩි වෙලාවක් නවත්තගෙන වාහන අඩු පාරෙ වාහන වලට යන්න ඉඩ හදලා දෙනවලු.... හැම තැනම වෙන්නේ මේ කතාවමලු.....




දැන් නම් මේ මගුල හොඳටම ඇති වෙලා තියෙන්නෙ. ඒත් විඳවනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ... ඇත්තටම වෙලාවකට මේ යක්කුන්ට මොලේ කියන දෙයක් ඇත්තෙම නැද්ද කියල හිතෙනවා....
ඔනෙ පොඩි එකෙක්ට තෙරෙනවා මේ කරන්නෙ මෝඩ වැඩක් කියල. අච්චර හොඳ ට්‍රැෆික් සිග්නල් එකක් තියෙද්දි මුන් ඒක off කරගෙන මේ කරන විකාරෙ මොකක්ද?



Saturday, October 20, 2012

දැන පරක්කු වැඩී....





මිනිසුන් ගැන තෙරුම් ගන්න පොඩි වැඩී නුඹ
නොතෙරුනු කමට කල සුලු වැරැද්දට
සිදුවිනි ජීවිතයෙන් වන්දි ගෙවන්නට......

මිනිසුන් කුහකය, අවස්තාවාදීය.....
සොඳුරු ලෙස පෙනුනු ලොකය එසේ නොවන වග තෙරුම් යන විට
ප්‍රමාදය නුඹ වැරදි නිවැරදි කර ගන්න

ගොඩ නඟා ගත් හැම දේම කඩාවැටෙන විට
දෑස් ඉදිරි පිට දරාගත නොහැකි ලෙස....
මරණය විසඳුම කරගෙන ඔබ ගියා යලි නො එන්නට...




Sunday, October 7, 2012

තනි ඇහැට ඇඬුනා.....

මෙදා පාරවත් ගොඩ යයි නෙ කියලා ආසාවෙන බලන්න පටන් අරන් ටික වෙලාවක් ගියාම බුදු ආතල්... මූන්ට 100 වත් ගහගන්න බැරි වෙයිනෙ කියලා මාර සතුටකින් මැච් එක බල බල හිටියෙ. ඒත් කොහොම හරි අන්තිම වෙනකොට නෙලන්න පටන් ගත්තෙ නැද්ද මුං... 138..... දැන් ගහපියකො කියල හිතාගෙන අපෙ උන් ගහනකන් බලන් හිටියා... 138 කියන්න එච්චරටම අමාරු ගානකුත් නෙමෙයි නෙ... ඒත් වැඩි වෙලා යන්න කලින්ම් පරණ කෙන්දරේම ආයෙත් පාරක් කැරකෙන්න හදන්නෙ කියල තෙරුනා... මේ පාරත් ෆයිනල් එක පරාදයි...... මොනවා කරන්නද? ක්‍රිකට් නෙ... ජය පැරදුම දෙක කාටත් පොදුයි නෙ... කෙනෙක් දිනන්න තව කෙනෙක් පැරදෙන්නම ඔනේ... ඒකනෙ තරගයක ස්වභාවය...



හිතට නම් ඇත්තටම දුකයි... මොනවා උනත් අපේ ටීම් එක සෙකන්ඩ් වෙලා වෙන ටීම් එකක් කප් එක උස්සනකොට, ඒකත් අපේ රටෙදිම? දුක හිතෙන්නෙ නැති කිසිම කෙනෙක් නැතුව ඇති... මිලියන 21 ක බලාපොරොත්තු පැයක් දෙකක් ඇතුලට බිඳිලා කුඩුවෙලා අලු වෙලා ගියා... අපිට වගේම ඒ රටවල මිනිස්සුන්ටත් එහෙම බලාපොරොත්තු තියනවනෙ... අපි පරාජය ගැන දුක් වෙද්දි එයාලා ජයග්‍රහනය ගැන සතුටු වෙනවා ඇති... පුදුමයි නෙ? මිනිස්සුන්ගෙ තියන ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාලා එකම දෙයක් වෙනුවෙන් කට ඇරන් බලන් ඉන්න එක... මේ මිනිස්සුන්ගෙ ඒ තාවකාලික බලාපොරොත්තු සියල්ලම පැටවෙන්නෙ 11 දෙනෙක්ගෙ කරපිට... ඒ අතින් මෙ 11 දෙනාට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද? ජාති වාද, ආගම් වාද දවසකට හරි නවත්තන්න පුලුවන් බලයක් තියනව කියන්නෙ කොච්චර දෙයක් ද?

කොහොම කොහොම හරි මැච් එක පරාදයි... හැබැයි හොඳම හරිය එන්නෙ හෙට. ඒ කට්ටියගෙ විවේචන, යොජනා, චොදනා එලියට එනකොට...

Wednesday, October 3, 2012

නුඹ සහ අපි.....


මේ ලොකේ කොච්චර උත්සාහවන්ත, ධෛර්යවන්ත මිනිස්සු ඉන්නවද? මේ දේ අපි හැමොම දැනගෙන හිටියත් මතක් වෙන්නෙ හිතට වදින දෙයක් දැක්කට පස්සේ..... ඒ වෙලාවට අපි කොච්චර පවුකාරද කාලකන්නිද කියල අපිට හිතෙන වාර අනන්තයි... ( මටනම් ඇත්තටම එහෙම හිතුනා )



අද අටපට්ටම බල බල ඉන්නකොට කොහෙද මංදා දුශ්කර ඉස්කෝලෙක මේ පාර ශිෂ්වත්ව විභාගයෙන් සමත් උන ඒ ඉස්කෝලෙ එකම ලමයව පෙන්නුවා... ඒ තත්වෙට එන්න ඒ ලමයට තිබුන පහසුකම් මොනවද? ස්වභාවධර්මයෙන්ම මිනිසා කියන සතාට උරුමකරදීලා තියන දේවල් වලින් කීයක් ඒ ලමයට නැද්ද? හිතල බලන්න අත් දෙක නැති, එක පාදයක් නැති ඒ ලමයට මේ තත්වෙට එන්න තිබුන එකම හයිය තමන්ගෙ ආතම ශක්තියයි උත්සාහයයි නෙමෙයි ද? ඒ පොඩි කෙල්ල මුලු රටෙම ඉන්න අයට ආදර්ශයක්...

අතපය 4 හොඳට තියන අපිට ඔය 4න් එකක් නැති උනොත්? නිකමට වගේ හිතල බලන්න එහෙම උනොත් අපේ ජීවිත කොච්චර දුශ්කර වෙයිද? අපි එදිනෙදා කරන වැඩ වලින් කොච්චර ප්‍රමානයක් අපිට කරගන්න බැරි වෙයිද? ඒ උනාට කකුලක් විතරක් තියන මේ පුංචි කෙල්ල අතපය4 හොඳට තියන, ලංකාවෙ ලොකු ලොකු ඉස්කෝල වලට ගිහින් ශිෂ්වත්ව විභාගෙන් අසමත් උන ලමයින්ට වඩා කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ? සමහරු නම් කියයි පොඩි කාලේ ඉඳන් ම හුරු වෙලා නිසා ඒවා කරන්න වැඩි අමාරුවක් නෑ කියල.. ( අපෙ අයගෙ හැටි එහෙමනේ, කොච්චර අගය කරන්න පුලුවන් දෙයක් උනත් කොහොම හරි හෑල්ලු කරන්න නෙ අපෙ අය දඟලන්නෙ... ) කියන්න නම් ගොඩක් ලේසියි හැබැයි ඇත්ත තත්වෙ තෙරුම් ගන්න නම් කරල බලන්න ඔනෙ කියනවනෙ...

Saturday, September 29, 2012

ඇනෝ විවේචනයක් !

මමත් දැන් බ්ලොග් ලියන්න පටන් අරන් ටිකක් කල් වෙනවනේ, මම වටේ හිටපු යාලුවො 2,3න් දෙනෙක්ටත් බලෙන්ම වගේ ලෙඩේ බෝ කලා  බ්ලොග් කියවපන් කියලා... ඔහොම බෝ කරපු එකෙක් මට අද හම්බවුනාම ඌ මට කියපු දේවල් ටිකක් ඔයාලටත් කියන්න හිතුනා.... මේ යාලුවා යමක් කමක් තෙරුම් ගන්න පුලුවන්, හොඳ මීටරයක් තියන එල බුලට් එකක්....

සෙට් උනාම කතා කරන බයිලා ටික ඉවර වෙලා මම නිකමට වගේ ඇහුවා "කොහොමද බ්ලොග් කියවන වැඩේ නැගලා යනවද? " කියලා.... ඌ කියපි "ඔවු බං තාම කියවනවා" කියල... මම ඇහුවා "සෙට් වෙනවා නේද වැඩේ" කියලා.... ඌ මට ඊට පස්සෙ දුන්නෙ හෙනම දාර්ශනික උත්තරයක්... දිරවගත්තෙත් බොහොම අමාරුවෙන්...




මෙන්න මේකයි කතාවෙ සාරාංශය...


Wednesday, September 26, 2012

නුඹ කොහෙද.....?


           


                 මතකද ඒ දවස නුඹ මා දෙනෙත් හමුවුන,

                 හොරැහින් බලනා ඔබේ ඒ බැල්මට

                                                 නතුවුනා මම මටම නොදැනිම.........................

                 විවේකය ලද විගස දිව ආමි කැන්ටිමට

                                                 තත්පරයකට හෝ නුඹේ රුව දැකගන්න

                 මුල් දා මෙන් නොව,

                                                වෙනස්විනි නුඹ දිනෙන් දින

                 සිතාගනු බැරිව ඇයි දැයි
           
                                                ලතවුනා මම හැම නිමේශයකම........................

Sunday, September 23, 2012

මාමයිට් කෑම හා ගා ගැනීම්...

ඔන්න ඉදල ඉදල ඉයේ පෙරේදා මගෙ හොඳ යාලුවෙක්ගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න ගියා... ගිහින් කයියක් දාගෙන ඉන්නකොට මූ කියපි මචන් මාර වැඩේනෙ මට උනේ කියලා... මූ #@$@ පාඨමාලාවක් හදාරලා ඒකේ tranning වලට හද්ද වන්නියක කෙලවරෙත් එහාම කොනේ තැනක තිබුන project එකකට දාල තිබුනේ. මාසෙට ගෙදර එන්න දෙන්නෙත් දවස් 4 ද කොහෙද... පැත්තෙ හොඳ කොහොමද කියනවනම් පත්තරයක් ඔනේ නම් දවස් 3 කට කලින් වත් කියන්න ඔනෙලු.... මූ නිවාඩු හම්බවෙලා ගෙදර ආවා කියපු හින්දයි මමත් ඒ පැත්තෙ ගොඩවෙලා එන්න ගියේ.... මූ නිවාඩු පැත්තකින් තියල එන්නම ඇවිත් කියලා දැනගත්තෙ එහෙ ගියාට පස්සේ....

මෙන්න මේකයි සිද්දිය.....



Thursday, September 20, 2012

අපිට කොහෙද බැදපු මාලු.....

වැඩ වැටෙනකොට වැටෙන්නෙත් පෝලිමට ආයෙ යකා ගැහුවත් හෙලවෙන්න බැරි විදියට. සති 2, 3 කින් විතර පැත්ත පලාතේ එන්න බැරි උනේ ඒ නිසා තමයි. වෙනදට ට්ව් එකෙ යන කතා බලන්නෙ නැති මම මෙ දවස් ටිකේ නම් දිගටම තිබුන කතා බැලුවා. අනෙ හැබෑට මුන් හැම එකාම හදන කතා එකම පාරෙ දුවන බස් වගේ.... ඉන්න නලු නිලියොත් එකම අය, කොහෙන් ගියත් එකම කතාව....



කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරට මාට්ටු වෙලා චොර වෙන එවයි, එකෙක් බූට් එකක් තියල වෙන එකෙක් එක්ක සෙට් වෙන ඒවයි, ජොකර කෙනෙක් ගෙ ජොක් ටිකකුයි ඇරෙන්න වෙන කිසිම වෙනස් දෙයක් නැනෙ මේ හැම එකේම.... බලනකොට තනියම හිනා... අනෙ මන්දා ලංකාවෙ නාට්‍ය අධ්‍යක්ශක වරුන්ට කිසිම නිර්මාණශීලී අදහසක් එන්නෙ නැත්තෙ ඇයි කියල එකම රෙද්ද පාට වෙනස් කර කර හැමදාම එකම වැලේ වනනව ඇරෙන්න.

ඔය කතා අස්සෙ ආස හිතෙන සුරංගනා පාට් ඔනෙ තරම් තියනවා... මගෙනම් වැඩියෙන්ම හිත ගිය පාට් එක නම් යන්නෙ රෑ 8 ට යන නාට්‍යක.

වචනයේ පරිසමාප්ත ( වචනෙ හරිද මන්දා ) අර්තයෙන්ම කියනවනම් පට්ට සල්ලි කාර පට්ට ලස්සන කෙල්ලෙක් තමන්ගෙ වාහනේ හැප්පෙන්න ගිය පට්ට දුප්පත් කොල්ලෙක්ට ට්‍රයි කරන සීන් එකක්...

Friday, August 31, 2012

නිල් තැවරුන නිල ඇදුම් අස්සෙන්....

අද A\L විභාගයේ අවසාන දවසය.... ඔය ගැන කිසිම මතකයක් නොතිබි මට ඒය මතක් වූයේ දහවල් දුටු නිල් තැවරුනු, පාට ගෑවුනු, අත්සන් තබන ලද පාසල් නිල ඇඳුම් දුටුවාට පසුවය... ඇත්තටම මේ දවස හැම කෙනෙකුගේම ජීවිතයේ නොමැකෙන මතක සටහන් ඇතිකරන දිනයක් බව හැමෝම දන්නා කාරනාවකි... ඒත් මෙතනින් එහාට ජීවිතය, මෙතෙක් ආ සුන්දර ගමන් මගේ අවසානය බව මොවුන්ට වැටහීමක් ඇත්ද නැද්ද යන්න වග කිසිසේත්ම පැහැදිලි නැත. ඔවුන්ගේ හිනා මුසු මුහුණු දුටුවිට අපිට ඇතිවන්නේ මහත් දුකකි.. ඒ මේ අවසාන වූයේ ජීවිතයේ සොඳුරුතම පරිච්චේදය වග ඔවුනට තෙරුම් යන්නට තව බොහො කාලයක් යන නිසාය.



මේ දිනය බොහෝ සෙයින් වැදාගත් වන්නේ පලමුවර විභාගයට මූන දෙන සිසු සිසුවියන්ටය. ඒ පාසැල් නිල ඇදුම අන්තිමට අඳින දිනය මෙය වීමය... ( results බැලීමට යනවිට හා වීශේෂ අවස්තා වලදී හැර )  එක අතකින් ඔවුනට මෙය ඉතා සතුටකි... ඒ පාසල තුල ගාල් කර ඉගෙනගන්නට සැලැස්වූ, තමන්ගේ බාහිර ස්වරූපය අන් අයෙක්ගේ උපදෙස් මත පවත්වා ගැනීමට සිදු වූ කාලයේ අවසානය මෙය බැවිනි... එක අතකින් ඔවුන්ට මේ දිනය විශාල දුකකි. දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු වී සිටි මිතුරන්ගෙන්, පාසැල් ක්‍රියාකාරකම් වලින්, ඒ සුන්දර මතකයන් වලින් ඈත්වෙන්නට පටන්ගන්නා දිනය මෙය බැවිනි...

කෙසේ හෝ කට්ටිය මේ දවසේ එයාලගෙම භාශාවෙන කියතොත් " ෆුල් ආතල් එකක් " දමන්නෙය... කෑ කෝ ගසමින් නිල්, ගොල්ඩ් ඩස්ට්, වතුර සහ නා නාප්‍රකාර දේවල් ගසා ගනිති... කොල්ලො සමූහයක් මෙසෙ යනවිට ගැහැණු ලමුන් දුටුවහොත් ඒ ගැහැණු ලමුන්ටත් "එකම සෙත" අත්වේය.... කොල්ලො මේ දේවල් එලි පිට කරද්දී කෙල්ලො බාහිර සමාජයට හොරෙන් මේ දේවල් පාසැල් ඇතුලෙදී සිදු කරති. ඒ ගැහැණු ලමයින්ගේ හැදියාවක් තිබිය යුතු යැයි සමාජයේ පවතින සම්මතය නිසාය... කාන්තාවට සමාජයේ සම තැනක් දිය යුතු යැයි ප්‍රකාශ කරන මිනිසුන් මෙතනදී කෙතරම් අසාදාරණද? එක ජීවිතයකට සමු දෙන දවසේ දී පිරිමි ලමුන්ට ඇති හැඟීම ගැහැණු ලමුන්ගේ සිත් තුලත් ඇති නොවන්නේද? එසේ නම් මෙසේ එක් පාර්ශවයකට නිදහස තිබියදී තවත් පාර්ශවයක් මේසේ හිර කරන්නේ මන්ද?

Thursday, August 30, 2012

ඉක්මනට ගිහින් ආපු හැටි....

උදේ පාන්දර පුරුද්දට වගේ ඇහැරුනත් ලෙක්චර්ස් නැති නිසා එහෙම්මම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. මේ දවස් වල හැම තැනම වැස්සනෙ... අපරාදේ කියන්න බෑ සැපට නින්ද යනවා. කොහොම හරි පැය 3කට පස්සෙ නැගිටලා කාලා බීලා වැඩ වගයකට town එක පැත්තෙ යන්න ඔනෙ නිසා ලෑස්ති වෙලා ගැරෙජ් එක ඇරියහම බඩු බනිස්... තාත්තා bike එක අරන් ගිහින්. වැස්සත් තියන එකේ වාහනේ යනවා කියල හිතාගෙන ඒකට නැගලා බැලුවම තනි ඇහැට ඇඩුනා.... ඒකෙත් ඩීසල් කට්ට හේත්තු වෙලා... මගෙ පාත්තරේටමයි හෙනහුරා පාත් වෙන්නෙ. දැන් ගහපන්කො තෙල්. කොහොම හරි 8 ට විතර බැස්සා එලියට ඉකමනට town ගිහින් එනවා කියල....



තිබුන වැඩ ටිකත් කරගෙන ගෙදර යන්නත් කම්මැලී වගේ හින්ද නිකමට වගේ දැම්ම එකෙක් ට call එකක්... ඌ කියපි ඌත් ගෙදර වරෙන් ඒ පැත්තෙ කියල.. ඔන්න ඉතින් එහෙ යන්න කියල යනකොට ආයෙත් වැස්ස පටන් ගත්තා... පාරෙ තැන් තැන් වල වතුර. මම ගොඩක් හිමින් එලවන නිසා පාරෙ හිටපු අංකල් කෙනෙක් නෑවුනේ නෑලු... එවලේ නම් මට කිඹුහුම් 2, 3කුත් ගියා...

::::සොරි වෙන්න ඔනේ අංකල්, පොඩි උනගෙ දැගලිල්ලනෙ කියල ඒක අමතක කරල දාන්න::::::


යාලුවගේ ගෙදරට සැපත් වෙලා කයියක් දාගෙන හිටියා... ඉස්සර වගේ හැමදාම කට්ටිය සෙට් වෙන්නෙ නැති නිසා සෙට් උන දවසට කතා කරන්න කුනු ගොඩවල් ඔනේ තරම් තියනවනේ. ඌට exam නිසා study leave ලු... මූ මං යනකොටත් හොඳට නිදි... අපෙ උන් පාඩම් කරන හැටි පේනවනෙ... ඒ අස්සෙ මම උදේ ඉඳන් වෙන එකෙක් ට call කර කර හිටියෙ notes වගයක් ඉල්ලගන්න.. ඌත් answer කරන්නේ නෑ. ගෙදර ගියොත් ආපහු පොත් ටික ගන්න එන්න වෙන හින්දා තව ටිකක් වෙලා බලනව කියල ඉන්නකොට  තවත් එකෙක් call කරනවා උබ කොහෙද බං ඉන්නෙ පොඩි ගමනක් යන්න තියනවා උබ එනවද කියලා... මමත් ඉතින් හා කිවුවා. ඌ තව ටිකකින් තවත් එකෙක් ගෙ ගෙදරට එනවා කියලා මට එහෙට එන්න කිවුවා.

Saturday, August 25, 2012

පිස්සු පීකුදු....

පොඩි කාලේ ඉදලම මට වාහන ගැන තියෙන්නේ මාරම අමාරුවක්.... ලස්සන කෙල්ලෙක් දැක්කත් 2පාරක් හැරිල බලන්නෙ නැති මම පට්ට වාහනයක් හරි බයික් එකක් හරි දැක්කොත් අනිවාර්යයෙන්ම හැරිල බලන එක සාමාන්‍යයයි.... හැබැයි අපේ අම්ම මම වාහන එලවනවට තියෙන්නේ මාර තරහක්...

ඔන්න ඉතින් මේ ලඟදි අපේ තාත්තා 4wheel Hilux CAB එකක් ගෙනාවා. මට ගෙනාපු දවසේ ඉදන් ඉන්න බෑ මේකේ off road ride එකක් යන්න... ට්ව් එකෙ off road events පෙන්නන කොට කට ඇරන් බලන් හිටපු මට කැබ් එකක් ගෙනාවා කියන්නෙ ඉබ්බට පිහාටු හම්බුනා වගේ වැඩක්...




අපිත් ඉතින් දකින දකින එක ලේසියි කියල හිතන් එවා කරන්න දගලන අයනෙ... ලෙක්චර්ස් නැතුව ගෙදර ඉදපු දවසක් ගෙවල් ලඟ පාත යාලුවො 2නෙක් සෙට් කරගත්තා. එකෙක්ගෙ සීයලගේ වත්තක් තියනවා අක්කර 20ක් 30ක් විතර... Off road  පදින්න කියාපු තැන. තියන අමාරුව නිසාම අරුන් 2න වත් දාගෙන ගියා ඒ වත්තට.... වාසනාවෙ තරම කියන්නේ ගිහින් බහින්න හම්බවුනේ නෑ වැස්සක් පටන් ගත්තා...

Monday, August 20, 2012

වරදට එරෙහිව නැගී සිටීම....

තමන්ටත් අනුන්ටත් අයහපතක් සිදු වන දේවල් "නරකයි" තම්න්ටත් අනුන්ටත් යහපතක් සිදුවන දේවල් "හොඳයි" කියලනේ මිනිස්සු හොඳ නරක් 2 ලේසියෙන්ම නිර්වචනය කරන්නේ.... ඒත් මිනිස්සු කොහොම කිවුවත් මිනිස්සුන්ට හොඳ කරන්න ගියාම ගොඩක් වෙලාවට වෙන්නේ හොඳ කරන්න ගියපු මිනිස්සු නරක මිනිස්සු වෙන එක... අපි හැමෝම වගේ කවදහරි දවසක් කාට හරි හොඳක් කරන්න් ගිහින් බැනුම් අහල තියනවනෙ.... ඒ කොච්චර බැනුම් ඇහුවත් තම්න් කලේ නිවැරදි දෙයක් කියල තමන් දන්නවනම් මිනිස්සු මොනවා කිවුවත් ගානක් නෑ...

මම කියන්න හදන්නේ මිනිස්සුන්ට හොඳක් කරන්න හදන එකයි ඒකෙදි අපිට මූණදෙන්න වෙන දේවලුයි ගැන...



අපි ආදරේ කරන අය, අපි ආශ්‍රය කරන අය, අපේ ලඟින් ඉන්න අය වැරැද්දක් කරනව දකිනකොට ඒ දේවල් වලට විරුද්ධව කතා කරන එක අපි හැමෝටම පොදු දෙයක්... අපිට සමීප කෙනෙක් වැරැද්දක් කරනකොට අපි කට වහගෙන බලන් ඉන්නවනම් අපිට ඇත්තටම තියන තත්වය මොකක්ද?  එහෙම කරනවනම් අපිත් ගුණමකු, අවස්තාවාදි, ආත්මාර්තකාමී කියන ගොඩට නෙමෙයි ද ඇතුලත් වෙන්නේ? තම්න්ට සමීප කෙනෙක් වැරැද්දක් කරනකොට ඒකට එරෙහිව නැඟි ඉන්න බැරිනම් ඒ තිබුන සමීපකම අපේ පැත්තෙන් ප්‍රොඩාවක් නෙමෙයිද? මමනම් කියන්නෙ තම්න්ගේ දෙමව්පියො උනත් වැරැද්දක් කරනවනම් ඒ දේ වෙනුවෙන් කතාකරන්න කියලා... මොකද කවුරු කෙරුවත් වරදක් කියන්නේ වරදක්...

ඊලඟට එන ලොකුම ප්‍රශ්නේ අපි කියන් දේවල් ඒ මිනිස්සු අහනවද කියන එක..... මෙන්න මෙතනදි නම් මේ දේ ටිකක් සංකීරණ වෙනවා... ඒ හැම කෙනාටම එකම විදියේ තේරුම් ගැනීමේ ශක්තියක් නැති කමයි, ඒ මිනිස්සුන්ගේ කියන දෙ අහගෙන ඉන්න පුලුවන් සීමාවයි මත.

Thursday, August 16, 2012

අතීතය සහ වර්තමානය

තාක්ෂනෙත් එක්ක දැන් හැමදේම දියුණු වෙලා, අලුත් වෙලා පහසු වෙලා ඒත් ඒ හැම දේම අස්සෙ අපි අතරමං වෙලා.... තාක්ෂනේ දියුණුව හොද නෑ කියල මම කියන්නේ නෑ. ඒක ඇත්තටම හොඳයි. ඉස්සරට වඩා මිනිස්සුන්ගේ ජීවිත වල එදිනෙදා කටයුතු පහසු වෙලා.... ඒත් ඒ දෙවල් එක්කම අපෙන් නැතිවෙලා යන දේවල් ටිකකුත් තියනවා. ඉපදුන දවසෙ ඉදන් වයස 16, 17 විතර වෙනකම් අපිට නැතිවෙලා යන දේ ගැන ලියල දාන්න හිතුනා EXAM එකත් අද ඉවර උන එකේ.....

ඉස්සෙල්ල පොඩි කාලේ අපිට නැතිවෙලා ගියපු දේවල් ගැන බලමුකො... හැමෝටම වගේ පොඩි කාලේ හවසට හවසට දෙමව්පියො, අච්චිලා සීයලා එයාලගෙ පොඩි කාලේ රස කතා කියන්න ඇතිනේ. කට ඇරගෙන පැය ගණන් ඒ කතා අහගෙන ඉදලත් ඇතිනෙ..



ගොඩක් වෙලාවට එයාල කතාව කියන කාලසීමාවෙ නෑදෑයො ගොඩක් අය වගේ ජීවත් වෙලා තියෙන්නෙ අහල පහල, සමහර වෙලාවට පවුල් වල ලමයි 4,5 ඉන්නවා... ඒ නිසා ගොඩක් වෙලාවට ඔය කතාවල ඉන්න චරිත අපේ නෑදෑයො වෙන, අපි හොඳට අඳුරන අය... කට්ටිය උදේට පයින් ම ගමේ ඉස්කෝලෙ ගිය හැටි. එ යන අතරමග කරපු විකාර, ඉස්කෝලෙ නොගිහින් කට්ටි පැනලා කැලෑ රොදවල් අස්සෙ සෙල්ලම් කරපු හැටි... හවසට කට්ටිය සෙට් වෙලා කරුවල වැටෙනකම් සෙල්ලම් කරපු ඒවා, හොරෙන් වතු වලට පැනල ගස් පාලු කරපු හැටි, ගස් පාලු කරනකොට අයිතිකාරයින්ට අහුවෙලා දුවපු හැටි කොච්චර කියන්න ඇත්ද? නිවාඩු කාල වලට නෑදෑ පවුල් වල පොඩි එවුන් මහ ගෙදර සති ගණන් නැවතිලා ඉදල ඒ කාල වලදි කරපු වැඩ... ( ගොඩක් වෙලාවට අලුත් අවුරුදු කාලෙ ) මෙ දේවල් අහගෙන අපි හිටියෙ කොච්චර ආසාවෙන්ද?

Saturday, August 11, 2012

කඩුවෙන් කෙටෙන අපේ උන්

ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ සති අන්තෙ විතරයි නෙ.... උදේ 9 විතර නැගිටලා උදේ කෑම පිඟානත් බෙදාගෙන ෆිල්ම් එකක් බලන්න් පටන් ගත්තම හැමදාම මොකක් හරි එකක් මගේ ඔලුවට කඩා පාත් වෙනවා. තාත්තගෙ වැඩකට යන්න එන්න කියලා කිවුවා. තාත්තා නිසා බෑ කියන්නත් බැරි එකේ ඔන්න ඔහෙ යනවා කියලා මමත් කාලා ඉවර වෙලා තාත්තත් එක්ක එයාගේ වැඩ වලට හෙල්ප් එකක් දෙන්න ගියා.... ඔහොම දවසම කට්ට කාලා හවස ගෙදර ආවම අම්ම කියනවා බණ ගෙදරක යන්න ලෑස්ති වෙන්න කියල.... යාලුවන්ගෙ මල ගෙවල්, දානෙ ගෙවල්, පිරිත්, බණ හොයාගෙන ගියාට මොකද මට නෑදෑයින්ගේ ඒවට යනවා කියන එක නම් අරහං... ගියාම අහන ප්‍රශ්න වලට උත්තර දීල ඉවරයක් නෑ. "පුතා කොහොමද? දැන් මොනවද කරන්නේ? " හැමෝම අහන්නේ ඔය ටිකනේ... ඔකට උත්තරේ ප්‍රින්ට් කරන් ගිහින් හැමොටම බෙදුවත් පාඩු නෑ....



එක දාන්න කොච්චර කලත් වැඩක් උනේ නෑ.... මොනවා කරන්නද කියලා මමත් කට්ට කමට එකකුත් දාගෙන එලියට බැස්සා. එක නිසා ඇතුලේ ඉදගෙන බණ අහන්න වෙන්නේ නෑ කියල මම හොදටම දන්නවනේ. අපෙ අම්මට කැමතිම නැති දෙයක් තමයි පන්සල්, බණ, පිරිත්, දානෙ ගෙවල් වලට මම ඇදගෙන යන එක... ඒක සංවර නෑලු.. ඇත්ත වෙන්න ඇති ඒත් හිත ඇතුලේ ගෞරවයක් නැතුව ඇදුම සංවර උනාට වැඩක් නෑනේ, මගෙ ඇදුම මොකක් උනත් හිත ඇතුලෙ ගෞරවය තියනවනේ කියල මම හැමදාම කියල අම්මගෙන හොදට බැණුම් අහනවා...

කොහොම කොහොම හරි බණ ගෙදර ගියා... මම අයිනක තියන එකක පුටුවක වාඩි වෙලා හිටියා... මම හිටපු තැනටත් හොදට බණ ඇහෙනව... මම කවදත් හරියකට බණක් අහන්නේ නෑ ඇහෙනවා මිසක්.. හාමුදුරුවො අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියන දේවල් ගැන කිවුවා, අපේ උන්ට සංස්කෘතිය මතක නෑලු, ජාතිය මතක් නෑලු ඇවිදින මල මිණී වගේලු. ඇත්ත කතාව මොනා උනත්... ඔහොම ගිහීන් බණ ඉවර උනා 8.30 ට විතර... හාමුදුරුවොත් පන්සලට වැඩම කලාට පස්සේ කට්ටිය එක එක තැන් වල ආගිය විස්තර කතා කරනවා...

Wednesday, August 8, 2012

හුදෙක් සිතුවිල්ලක්මද ?

බුකියේ කරක් ගගහා ඉන්නකොට එක එක විකාර පොස්ට් අස්සෙ ලස්සනට ගළපල තිබුන සිංහල අකුරු ටිකකට ඇහැ වැටුනා..... හැමදාම දකින අකුරු 26 අස්සෙ අපෙ සිංහල අකුරක් දැක්කම ඔනේ කෙනෙකුගෙ ඇහැ යනවනෙ... ඒත් මේ වචන ටික කියවගෙන යනකොට වචන වලට එහා ගිය ගැඹුරු අර්තයක් මේ වචන ටික ඇතුලේ තියනව කියල දැනුනා.... ඒකයි මේක පොස්ට් එකකට දාන්න හිතුවෙ.

මෙක කියල තිබුනේ අචිනි කියලා ගැණු ලමයෙක්. ( අක්කා කෙනෙක් වෙන්න ඔනෙ )


මේ ඉර හඳ යට තවමත් මම මිනිසුන් හඳුනා ගැනීමට උත්සාහ දරමි. එනම් නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ ආදරය, වෛරය, කෝපය, කුහකකම ඉදිරියේ අසරණ වෙමින් තවමත් මිනිසුන්ට ආදරය කරමි. ගෞරව කරමි, තේරුම් ගැනීමට උත්සාහ කරමි. ඔබට මා ආදරය කලෙමි, එහෙත් වෛර නොකලෙමි. ඔබට මා ගෞරව කලෙමි, එහෙත් අපහාස නොකලෙමි. සියල්ල සිනහවකින් හා කඳුලකින් විඳ දරාගත්තෙමි. ඔබට සිනහවක්ම ගෙන ඒමට උත්සාහ දෙරුවෙමි. ජීවිතය පුදුමයකි. මරණයද පුදුමයකි.එවන් පුදුමයන් හමුවේ මරණය තෙක් ලඟින් සිටිනවායැයි පැවසීමද පුදුමයකි. දුක, සතුට, ආදරය, විරහව, රැවටීම් හා අපහාස හමුවේ ඇවිද යන දුෂ්කර වූ ගමනේ කෙලවර මරණයයි. මෙම සනාතන ධර්මතාවය මම දැන් හොඳින් දනිමි. යතාර්ථය එයයි. හිදින් මා මුළු ලොවම හදවතින් දරා ගනිමින් මරණය තෙක් තවමත් හුස්ම ගනිමි.............!!

 වචන පෙලි 2,3ක් උනාට මේකෙ තියන තෙරුම පෙලි 2,3කට සීමා කරන්න අපට පුලුවන්ද?


Monday, August 6, 2012

වටිනාකමට වටිනාකමක් දෙන්න.....

අපි වටිනාකම ගැන ගොඩක් වෙලාවට කතාකරන්නේ සල්ලි වලින් ඒත් එතනින් එහාට ගිය වටිනාකම ගොඩක් අපේ ජීවිත වටේ තියනවා නේද? ඒ දේවල් වලට ලැබෙන්න ඔනේ වටිනාකම අපි දෙනවද? අපිට නොලැබුන දේවල් වල වටිනාකම ගැන කතාකරන අපි අපි ලඟ තියන දේවල් වල වටිනාකම ගැන නොහිතන්නේ ඒ දේවල් අපි ගාව තියනවා, නැතිවෙන්නේ නෑ කියල දැනෙන නිසාද?



අපිට ඔනෙම දෙයක ලැබුන ගමන් තියන වටිනාකම කාලයත් එක්කම අඩු වෙලා යනවා නෙද? ඒක වයස සීමාවකින් තොරව හැමෝටම පොදු දෙයක්. හිතල බලන්න පොඩි එකෙක් ට අලුත් සෙල්ලම් බඩුවක් අරන් දුන්නා කියල... හම්බුන දවසේ ඒක ලඟින් හෙල්ලෙන්නෙ වත් නැති පොඩි එකාට ආයෙත් අලුත් එකක් හම්බුනාට පස්සේ පරණ එක ගැන තියන අවධානය කොච්චර අඩු වෙනවද? ඌට අයෙත් සමහර විට ඒක ඔනේ වෙන්නේ 'බබා මම මේක අරන් යන්නද?' ඇහුවට පස්සෙ. අන්න එවලෙට ඌ ඒක බදාගන්නේ අත් 2න් ම..... හැම දේකම තත්වෙ ඔය වගේ නෙමෙයි ද? හැබැයි ඔය දේවල් අතර තමන්ට මුලින් ලැබුන දේ පරිස්සම් කරන අයත් නැතුවම නෙමෙයි.....

Saturday, July 28, 2012

අරමුණ හා කැපවීම....



අපි හැමෝටම විවිධ අරමුණු ඔනේ තරම් තියනවා... අපි හැමෝම වගේ ඒ අරමුණු ගැන හිත හිත හීන දකිනවා මිසක් ඒ අරමුණට ලඟා වෙන්න කරන කැපවීම අඩු නැද්ද? අපි ජීවිතේ හැම වෙලාවෙම අපිට ඔනේ දේවල් ලබාගන්න මහන්සි නොවි short cuts හොයනවා. ඒත් ජීවිතේට වැදගත් දේවල් ජීවිතේට ලගා කරගන්න short cuts කොහෙවත් නෑ... එහෙම short cuts වලින් හම්බවුන දේවල් වල වටිනාකම ගොඩක් අඩුයි...

හැබැයි ජීවිතේ වයසින් මුහුකුරා යනකොට තමන්ගේ අරමුණට යන්න අපි කරපු කැපවීම කොච්චර මදිද කියලා හිතෙනවා... ( මෙහෙම කිවුවට අරමුණු වෙනුවෙන් හැම දේම කැප කරන අයත් ඔනෙ තරම් ඉන්නවා ) තමන්ට ලේසියෙන්ම යන්න තිබුනු ඉලක්ක වලට තමන්ගේම උවමනාවක් නැති කම නිසා යන්න බැරි උනාම එවලෙට "අනේ කමක් නෑ, තව දේවල් කොච්චර තියනවද" කියල තමන්ටම කියාගත්තත් ටික කාලයක් යනකොට තමන්ටම දුක හිතෙනවා " බැරි කම නෙමේනේ, අපේ ඔනේ නැති කම නිසානේ මෙහෙම උනෙ කියලා"

Wednesday, July 11, 2012

ජීවත් වෙන්න ඉඩ දෙන්න...

අපේ පුංචි කාලේ මතක් වෙනකොට අපිට කොච්චර ආසද? ඒ කාලේ අපේ ජීවිත ගෙවුන හැටි මතක් වෙනකොට ඇයි ඒ කාලේ ගෙවිලා ඉවර උනේ කියල හිතෙන වාර ගණන අනන්තයි. ඒ තරමටම අපේ ඒ පුංචි කාලේ සුන්දරයි.



අපි ඉස්කෝලෙ පොඩි පන්ති වල ඉද්දි (පොඩි කියන්නේ 4,5,6,7 වගේ ) අපි කොච්චර දේවල් කලාද? ජීවිතේ ගැන කොච්චර අත්දැකීම් ලබාගත්තද? ඒ මතකයන් පවා දැනුත් අපේ ජීවිත වලට කොච්චර සතුටක් ගෙනත් දෙනවද? උදේ පාන්දර ඉස්කොලෙට ගිහින් ඉස්කෝලෙ පටන් ගන්න කන් සෙල්ලම් කරන්න අපි කොච්චර ආස කලාද? ඉස්කෝලෙ අස්සක් මුල්ලක් නෑරම කොච්චර දුවල පැනල ඇත්ද? ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් නාලා, කාලා 4 විතර වෙනකොට ගමේ ඉන්න යාලුවො එක්ක වෙලවල් ගානේ, කැලෑ රොදවල් ගානේ කොච්චර නටන්න ඇත්ද? ඒ නටන අතරේ වැටිල ලෙලි ගහගෙන ඒ තුවාල වලින් ලෙ පෙරෙද්දිත් තව කොච්චර නටල ඇත්ද? ඊටත් වඩා තුවාල කරන් ගෙදර ඇවිල්ල ගෙදරින් කොච්චර ගුටි කාල, බැනුම් අහල ඇත්ද?

අපිට ඒ කාලෙ ටියුශන් තිබුනේ සති අන්තෙ විතරයි... සතිය මැද ටියුශන් තිබුනේ ගොඩාක් අඩුවෙන්... ඉතින් අපිට ලමා කාලේ විඳින්න ඔනෙ තරම් වෙලාව තිබුනා... තව එකක්, දැන් මාසයක් දන්නෙම නැතුව ගෙවිල යනවා උනාට අපිට එ කාලේ කාලය ගත් වෙනවා ගොඩක් විදියට දැනුනා... නිවාඩු කාලයක් එනකම් අපි කොච්චර බලන් හිටියද? ඒ නිවාඩු කාලේ එන්න කොච්චර කල් ගියාද?

Tuesday, July 3, 2012

ජීවිතය...

ජීවිතෙත් වෙලාවකට හරි පුදුමයි..... ජීවිතේ ගැන අපි කොච්චර දන්නවා කියල හිතන් හිටියත් වෙලාවකට  ඒක එහෙම නෙමෙයි කියල අපිට දැනෙනවා... ඒ අපි නොහිතන දේවල්, කවදාවත් වෙන්නේ නැතිවෙයි කියල හිතපු දේවල්, බලාපොරොත්තු නොවුන දෙවල් ජීවිතේට වෙනකොට... සමහර වෙලාවල් වලට අපි පුදුම විදියට අසරණ වෙනකොට,  තවත් කෙනෙක් එයාගෙ ජීවිතේ සතුටුම දවස සමරනවා වෙන්නත් පුලුවන්...



එක වෙලාවකට හිතෙනවා ජීවිතේ මුහුද වගේ කියලා.... ඒ ජීවිතේ ඒ තරමටම වෙනස්වන සුලු නිසා.  ජීවිතේ අපි බලාපොරොත්තු වුන දේවල් ඒ විදියටම හරි, ඒ ලඟින්  යන්න හරි සිද්දවෙන අතරෙ නොහිතන වෙලාවල් වලට නොහිතපු විදියට නොහිතපු දේවල් අනන්තවත් වෙනවා....බලාපොරොත්තු ඉටු උනාම සතුටු වෙන අපි බලාපොරොත්තු කඩ උනාම දුක් වෙනවා... ඒ දේ කාටත් පොදුයි.... ඒත් ඒ කඩවුන බලාපොරොත්තු අතරින් අලුත් බලාපොරොත්තු ඇතිකර ගන්නත් අපි අමතක කරන්නෙ නෑ.....


මිනිස්සුන්ව ජීවත් කරන්නේ බලාපොරොත්තු කියලා සමහර අය කියනවා... ඇත්ත වෙන්න ඇති... අපි හැමදේම කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් හිත් ඇතුලේ තියාගෙන නේ....

Saturday, June 30, 2012

ප්‍රේමය හා කාලය...

අපි උසස් පෙල කරන කාලේ වටේ හිටපු යාලුවන්ට ගෑනු ලමයි හිටියනේ... ඒත් උසස් පෙල ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අහන අහන උන්ගේ තිබිච්ච හුටපට ඔක්කොම ඉවරයි.... ( මෙ කිවුවේ සිරා love කරපු උන් ගැන ) ආතල් එකට love කරන උන ගැන නම් කතා කරල වැඩක් නැ... උන්ගෙ love නම් අද තියනවා හෙට නෑනෙ...


ආතල් එකට love කරන උන්ගෙ ටික කාලෙකින් ඉවර වෙන එක සාමාන්‍ය දෙයක්..... ඒ තාවකාලික ආශාවන්, අවශ්‍යතා ටික කාලෙකින් නැතුව යන නිසා... ඒත් අපි හැමොටම පට්ට love එකක් කියල හිතුන ඒවා එකක් හරි තියනවනේ... අන්න ඒවගේ affairs වලට එකපාරටම හෙන ගහල ගියාම සමහර විට අපිටත් පුදුමයි ඒක උනේ කොහොමද කියල... අන්න ඒ වගේ affairs එකක් නතර උනාම බූට් එක වැදුන එකා හෝ එකී මාස ගානක් යනකම් විඳවනවා... ඒත් මගෙ බොක්කේ ෆිට් එකක් කියන විදියට ඒ හැම දේම කාලයත් එක්ක අමතක වෙලා මිනිස්සු පරණ track එකට වැටෙනවලු... ඒත් ඒ මතකයන් හැමදාමත් උන්ගෙ හිත් වල තියනවනේ... ඒ දේ බලපාන්න පටන් ගන්නේ ඊලග affairs එක පටන් ගත්තට පස්සේ...

සිරා කරල බූට් කාපු එකෙක් නම් ඌ හදන්නේ කෙල්ලන්ගෙන් පලි ගන්න.... කෙල්ලෙක් නම් කොල්ලන්ට කෙලවන්න.... අවිශ්වාසය කියන දේ හැම වෙලේම මතුවෙන්න පටන් ගන්නවා.. ඒ හේතුව නිසාම අලුත් affair එකත් ටික දවසකින් ඉවර වෙනවා.. ඒත් හැම කෙනාම මෙහෙම නෑ කියල කියන්න පුලුවන්.. බොක්කෙන්ම කරල බූට් කාපු එකාට වටෙ ඉන්න උන් මොනවා හරි කියල හිත හදන්නන් බලනවා.... ඒත් තුවාලෙ වේදනාව දන්නේ තුවාලෙ තියන එකානේ... කට්ටිය එක්ක ඉද්දි දැන් අවුලක් නැ බන් කියලා ලෝකෙට පේන්න හිනා උනත් උගෙ හිත ඇතුලෙ තියන දේ දන්නේ ඌ විතරයි.... සමහර විට ඇත්තටම උට අවුලක් නැති වෙන්නත් පුලුවන්, සමහර විට ඌ හිත ඇතුලෙන් අඩනවා වෙන්නත් පුලුවන්... කෙල්ලො නම් කරන්නේ මූන එල්ලන් ඉන්න එකයි මතක් වෙන වෙලාවට අඩන එකයි නෙ. ( ඇත්තටම මේ වගේ වෙලාවක කෙල්ලො මොකද කරන්නේ කියල මං හරියටම දන්නේ නෑ )

Wednesday, June 27, 2012

තිත්ත ඇත්ත

ඔන්න ලගදි දවසක ගෙදර ඉන්න කම්මැලිකමට උදෙම බැස්සා එලියට රස්තියාදු පාරක් වත් දානව කියල... බස් එකේ නැගලා ටවුමට ආවා... උසස් පෙල ක්ලාස් යන කෙල්ලො කොල්ලොන්ගෙන් ටවුන් එක පිරිලා... ඉස්සර අඩියක් අඩියක් ගානෙ පය ගහල තිබුන ටවුන් එකේ අමුතුම නුපුරුදු කමක් හිතට දැනුනා... අදුරන එකෙක් හොයාගන්න හතර වටේ බැලුවත් හැමතැනම තිබුනේ ජීවිතේට ඇහැ ගැටිල නැති මූණු විතරයි.



අපි ක්ලාස් යන දවස් වල නම් ටවුන් එකට බැහැපුවහම අදුරන අය ඔනේ තරම්.... දැකල පුරුදු නැති කෙල්ලෙක් කොල්ලෙක් හිටියෙ බොහොම අඩුවෙන්.... අදුරන උනුත් නැති එකේ ටිකක් වෙලා ඉදල කොහෙ හරි යනව කියල හිතන් ටවුන් එකේ එහෙ මෙහෙ යන කෙල්ලො කොල්ලො දිහා පැත්තකට වෙලා ටිකක් වෙලා බලන් හිටියා... ටික වෙලාවකින් මට අපේ සොදුරු අතීතය මතක් උනා... අපිත් මෙහෙම හිටියා නේද කියල....

සාමන්‍ය පෙල ඉවර වෙලා අපි උසස් පෙල කරන්න ආපු හැටි... අවුරුදු 2,3ක් මේ ටවුමෙම ජීවිතේ වැඩි කොටසක් ගෙවුන හැටි... ඒ කාලේ තිබුන සුන්දරත්වය! ඒ කිසිම දෙයක් අද නෑ... ඉතුරු වෙලා තියෙන්නේ ඒ දෙවල් වල මතකයන් විතරයි... එක වෙලාවකට හිතෙනවා ජීවිතේ ගතකරපු හොඳම කාලෙ නේද ඒ කියල...

ක්ලාස් වල නටපු පිස්සු... සෙට් එකත් එක්ක ක්ලාස් කට් කරලා රවුම් ගහපු හැටි.... කෙල්ලො ටොක් කරන්න කරපු වැඩ... වලි දාගෙන ගහගත්ත ඒවා.... පොලිසියෙන් බේරෙන්න දුවපු ඒවා... මතක් වෙනකොටත් හිනා යනවා. ඔවා ඒ කාලේ කරන්නේ නැතුව නාකි උනාම කරන්නද? ක්ලාස් කට් කරන්න ක්ලාස් යන්න ඔනනේ.

Saturday, June 9, 2012

Modern භක්තිය...


අර ෆිල්ම් එකක කිවුවා වගේ ජීවිතේ කියන්නේ සරුංගලයක් නම් විනය කියන්නේ ඒකේ නූල...




අපේ ජීවිත වලට මුලින්ම විනය කියන දේ උගන්නන්නේ අපේ දෙමව්පියෝ... ඊට පස්සේ ගුරුවරු... එත් ගොඩක් වෙලාවට අපිට විනය කියන දේ උගන්නන්නේ අපේ ආගම මුල් කරගෙන.... පොඩි කාලේ අපි වැරදි කරල ගුටි කනකොට සමහර විට අපේ අච්චිලා සීයල කියන්නේ 6,4 නොතෙරෙන ඔය පොඩි එකාට ගහන්න එපා කියලා.... ඔතන 6 කියන්නේ දිව්‍යලොක 6, 4 කියන්නේ සතර අපාය කියල තමයි මම දන්නේ...

ආගම මොකක් උනත් මිනිස්සු තමන්ගේ ආගමට ගරු කරනවා, අපේ අච්චිලගේ සීයලගේ තිබුන ඒ ගතිගුණ සමහර විට ගොඩක් අයට මතක ඇති... ආගමට පස්සේ අපේ මිනිස්සු දෙවියන් වත් විෂ්වාස කලා.... බාර හාර උනා... තමන්ගේ සතුටෙදි වගේම දුකේදිත් ආගම, දෙවියන්ව මතක් කලා...

ඒත් අද? බොහොමයක් මිනිස්සුන්ට ඔය හැම දේම මතක් වෙන්නේ තමන්ට කරදරයක් උන වෙලාවට විතරයි... තව ස්ටයිල් එකට මේ දෙවල් කරන අයත් ඉන්නව...

තමන්ට කරදරයක් උන වෙලාවට දෙවියන්ට පන්න පන්න කන්නලවු කරන මිනිස්සු හරි ගියාම බාර ඔප්පු කරන්නේත් කරන්න ඔනේ නිසා මිසක් වෙන දේකට නෙමෙයි...


එක මිනිහෙක් තව එකෙක්ට නරකක් වෙන්න කියල කන්නලවු කරනකොට  කන්නලවු කරන කෙනාට අනිත් එක්කෙනා එහෙම කරනවනම්? මේ වගේ වෙලාවට දෙවියොත් අසරණයි නේද? මිනිහෙක් මැරෙන්න කියල පොල් ගහනකොට අපි මිනීමරුවෙක් කරන්නේ අපි විශ්වාස කරන දෙවියන්ම නොවේද? ඒක හරියට දෙවියන්ව පූජා වට්ටියකට HIT MAN කෙනෙක් කරගන්නවා වගේ වැඩක් නෙමේද? මල් පහන් පුජා කරල ගාතා කියල වැදල ඊලගට දේවාලෙට යන අපි වෙන කෙනෙකුට හෙන ගහන්න කියල කඩන්නේ ත්‍රිකොටි පාරිශුද්ද සීලය නෙමේද?

Wednesday, June 6, 2012

අපි ගහපු කිරිකට්.....

එකෝමත් එක රටක... එකෝමත් එක කිවුවට මේ රටෙම තමයි... එකෝමත් එක තමන් ජ්‍යාත්‍යන්තරයි කියාගන්නා වූ සු සූ ගාලා සිසුන් 300ක් වත් නැති හැබයි ශාකා 5ක් තියන උසස් අද්‍යාපන ආයතනයක් අපුල්ලන්න තමයි මේ ලෑස්තිය.... ( මුන්ගේ ලොකු කමේ තරම කියන්න හදන්නේ )


ඔන්න ඉතින් කස්ටියගෙ මොරාල් අප් කරන්න කියල පාලන අංශයෙන් කිවුවා කිරිකට් තරඟයක් තියමු කියලා.... ඔක අහපු ගමන් කොල්ලො ටික මාර කික්..... මැච් එකක් නේ... සොෆ්ට් බොල් ගහන හින්ද කියපු පරක්කුවට ටීම් හදාගෙනත් ඉවරයි කට්ටිය.... අපෙ උන්ට මැච් කිවුවොත් වෙන දෙයක් ඔනේ නැනේ..... ඔහොම ඉන්නකොට පත සයිස් හෙන ගෙඩියක් පාත් උනා....

අපේ මොලේ උඩ ඉදගන්න පාලක අංශයෙන් කියපිනේ සොෆ්ට් බොල් නෙමෙයි ලෙදර් ගහන්නේ කියල.... ගහපංකො දැන් @#$$#@$%..... අපේ branch එකේ කොල්ලො ඉන්නේත් පොඩ්ඩයි.. උන්ගෙන් එකෙක් දෙන්නෙක් ඇර ඔක්කම වගේ ලෙදර් බැට් එකක් අතින්වත් අල්ලලා නැ..... කට්ටියට දැන් මල... කරන්න දෙකුත් නැති එකේ පුලු පුලුවන් කියන උන් ටික එකතු වෙලා හදාගත්තා ටීම් එක... එකම බොල් ගාඩ් එක ශොපින් කවරෙ දාගෙන පාවිච්චි කරලා, කරන්න පුලුවන් උපරිමයයි තව ටිකක් වැඩියෙනුයි කරලා කොල්ලො ටික බුදු ගේමක් දීල ප්‍රැක්ටිස් කලා.... අපරාදේ කියන්න බෑ අන්න මොරාල් එක.... හැබැයි ඊලග හෙන ගෙඩිය අයෙත් අපිට හරහට හිටියා... අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් එක උඩ ත්‍රිබලක් ලුනේ.....

Thursday, May 31, 2012

සැරසීම හා චොර වීම....

ඔන්න එකෝමත් එක රටක ( මේක සිහින පුරවරයක් ලු ) වෙච්ච කතාවක් තමයි කියන්න යන්නෙ... යටගිය දවස බරණැස් නුවර ........ නම් රජ කෙනෙක් රජ කරන කාලෙක ලොක ගෝලෙ වෙනත් තැනක පුංචි දුෂ්කර ගම්මානෙක කොලුවෙක් ගෙදර අයයි යාලුවොයි එක්ක එකතු වෙලා බොලේ උස්සන් දුවන සෙල්ලමේ තරගාවලියක් තියනවලු... කොලුවා සෙල්ලමට බැස්ස හැටි සැමා අයියගේ වච්නයෙන්ම මෙතනින්....




තරගාවලිය ලස්සන කරන්න කියලා අල්ලපු ගමේ නාඩගම් නටන ලමිස්සියො දෙතුන් දෙනෙකුයි කොලු ගැටවු ටිකකුයි ගේන්න සැලසුම් කලාලු... ඉතින් ඒ අය ගේන්න ලොකු ගානක් වියදම් කරනවලු..... අපේ සල්ලි වලින් නම් රුපියල් මිලියන 150ක් විතර.... ( කජු ඇටද කොස් ඇටද නේ) තව ලමිස්සියෙකුට මිලියන 60යි ලු... සෙල්ලම් කරන කොලුගැටයින්ට සොච්චමයි ලු ගෙවන්නේ....

Monday, May 28, 2012

ගිනි තියන්න.....

ගිනි තියන්න කිවුවට එහෙම එක පාරට ගිනි තියන්න එපා. නැත්තම් ගිනි නිවන්න ගිනි නිවන හමුදාව ගේන්න වෙයි... මෙක මගේ ආසම Band එකේ අලුත්ම ඇල්බම් එකේ සින්දුවක්... Burn It Down.... 

Linkin Park ලගෙ අලුත්ම  ඇල්බම් එකේ නම් "Living Things". තාම ඇල්බම් එක නම් out කරලා නෑ..  ජුනි 26 තමයි එලිදක්වන්න තියෙන්නේ. සිංදු ටිකේ නම් පහල ඇති... ඒත් කොහොමද කියල බලන්න වෙන්නේ නම් ඇල්බම් එක එලියට ආවට පස්සේ. 


1. ‘Lost in the Echo’
2. ‘In My Remains’
3. ‘Burn It Down’
4. ‘Lies Greed Misery’
5. ‘I’ll Be Gone’
6. ‘Castle of Glass’
7. ‘Victimized’
8. ‘Roads Untraveled’
9. ‘Skin to Bone’
10. ‘Until It Breaks’
11. ‘Tinfoil’
12. ‘Powerless’





Tuesday, May 22, 2012

ලංකාවේ රුප පෙට්ට්ය.....

මෙක ලියන්න හිතුනේ මගේ ලොකය බ්ලොගියෙ තිබුන ලිපියක් දැක්කට පස්සෙයි.....

අපි පැංචො කාලේ නම් ටිවි එකේ දුරස්ථ පාලකයේ තියන 1-9 වෙනකන් ඉලක්කම් වලට චැනල් හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. එත් එකටත් එක්ක දැන්...! චැනල් 20 විතර තියනවා මම දන්න විදියට... ඒ මොක උනත් අද ලංකාවේ ටිවි චැනල් වල ගන්නම දෙයක් නැති තරම්... ඉදල හිටල හොඳ දේවලුත් නැතුවම නෙමෙයි.... ඒත් බොහෝ වෙලාවට ටිවි චැනල් කියන්නේ විකාර ගොඩක්...




උදේට එක එක විකාර මගුල්... එක්කො රෙද්දක් පෙන්නයි, එක්කො සාකච්චාවක්, එක්කො බියුටි කචල් මගුලක්, තව එක එක නා නා ප්‍රකාර දේවල් ගොඩයි.... හවසට කාටුන්, ඊට පස්සේ සංගීත වැඩසටහන්....7.30 ඉදන් 10 වෙනකම් නාට්‍ය... ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති නම් පැය බාගයයි...... සති අන්තෙට එක එක reality shows. හැමදාම වැදගත් කියන ගොඩාක් වැඩසටහන් පටන් ගන්නේ යක්කු ගස් නගින්න ලංවෙන වෙලාවට.

Friday, May 18, 2012

සෙට් එක හා කාලය... 2

කලින් සෙට් එක හා කාලය ලිපියේ 2වෙනි කොටස


2වෙනි පාර උසස් පෙල විබාගයට පස්සෙ සෙට් වෙන චොරේ මම කලින් එකේ කිවුවනෙ... සෙට් එකට එතනදි කෙල වෙන එකට එකෙක්ගෙ වත් වරදක් නෑ.... ඉස්සර වගකිමක්, යුතුකමක් තෙරුනේ නැතුව සෙට් බැහල, class cut කරන් පිස්සු කෙලියට වගකීම් යුතුකම් ටික ටික තෙරුම් යනකොට එක එකා එක එක පැති වලට යොමු වෙනවා.... එකෙක් ජොබ් කට්ටක් හොයාගන්නකොට තව එකෙක් මොකක් හරි පාඨමාලාවකට යොමු වෙනවා. campus යන්න සෙට් උන උන් එකේ degree කරන අතරේ තව එකක් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක degree කරන්න පටන් ගන්නව.... සල්ලි ටිකක් යහමින් තියන පවුලක එකෙක් නම් pack කරල පිටරටකට යවනවා උගන්නන්න.... :)




ඉස්සර සෙට් එක ගොඩක් වෙලාවට සෙට් උනේ class cut කරල කොහෙ හරි වලක් බැහැලනේ.... ඒත් මේ දේවල් නිසා 2වෙනි පාර විබාගෙන් පස්සේ සෙට් වෙන්න කට්ටියට අවස්තාව හම්බවෙන්නේ නෑ... මොකද ජොබ් කරන එකාට නිවාඩු නෑ... තව එකක් ට exam, එකක්ට පුලුවන් වෙලාවට අනිත් එකාට බෑ... මෙ වගෙ ප්‍රශ්න කෝටියයි.....

Wednesday, May 16, 2012

සෙට් එක හා කාලය

පොඩි කාලෙ ඉස්කොලේ යන්න අපි හැමෝම වගේ ආසයි. එ ඉගෙන ගන්න එකට වඩා යාලුවොත් එක්ක සෙල්ලම් කරන්න තියන ආසාව හින්දයි.... පුලුවන් තරම් උදේම ඉස්කෝලෙ යන්න try කරන්නේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් සෙල්ලම් කරන්න අවස්තාවක් උදාකරගැනිමේ පරම චෙතනාවෙනි.... ඒ කාලේ සෙට් නැත. ඉන්නේ යාලුවෝ හා තරහ කාරයින් ය... මේ කාණ්ඩ 2 සීග්‍ර වශයෙන් වෙනස් වන දේවල් ය.. ඒ කාලේ, අද මිතුරා වූ එකා හෙට හතුරාය, සමහර විට ඊලග දවසේ නැවත මිතුරාය. ඒ කාලයේ ජිවිතය සුන්දරය....  පුන්චි සිත් මල් වගේය......




එසේ කාලය ගෙවි ගොස් සාමාන්‍ය පෙල නොහොත් 10, 11 වසරට පිය තබන්නේය..... සෙට් එකේ මූල බිජය වැටෙන්නේ මෙතැනදිය.... 6,7 වසරේ පන්තියේ ඔක්කොම යාලුවොය, හොදම යහලුවො කිහිප දෙනෙක් නැත්තේද නොවේ.. නමුත් සාමන්‍ය පෙල පන්ති වලදි මෙය තරමක් දුරට වෙනස් වේ... එක ජාතිය කුරුල්ලො එක අත්තකට රොක් වන්නේය... තමාගේ සිතුම් පැතුම්, ක්‍රියා කලාපයට ගැලපෙන යහලුවන් සමග එකට ගැවසීමට රුචිකත්වයක් දක්වන අතරම තමාට නොදිරවන අය හලා දැමීමට කටයුතු කරයි... මේ කාලයේදි ඉස්කොලෙට ඇවිත් සෙට් එකත් සමග කොහෙට හෝ වි කය්යක් දාගෙන සිටීමට බොහෝ ප්‍රිය කරයි...... නමුත් පන්තියේ හැම එකාම අවශ්‍ය විට ෆිට් ය..... මෙහිදී බොහෝ විට පන්තියේ චොරයො ටික එක සෙට් එකක් ය.. බ්‍රයිටො ටික තව සෙට් එකක් ය... මැද උන් එක එක සෙට් වලය......

Sunday, May 13, 2012

වල සහ අපි....

ඔන්න ඉතින් යටගිය දවසක උන සිද්දියක් ගැන ලියලා දාන්න හිතුනා.... මෙන්න මෙහෙමයි ඒක පටන් ගත්තේ...


බ්‍රහස්පතිනදා හවස මං කල්පනා කර කර හිටියේ ඊලඟ දවසේ Class නේද කියල....  Class එක තිබුනේ එක්තරා, හුදෙක් තමන් ජ්‍යාත්යන්තරයි කියාගන්නා වූ අධ්‍යාපන ආයතනයකයි... ( ඇත්ත දනනේ class යන අපිය ) Class එක මතක් වන විටත් නිදිමතින් මුහුණ ඇඹරී යයි..... බැඳගත්ත බෙරේ ගහන්න ඔනෙ නිසා නිදාගන්න හරි class යනව කියා බොහොම අමාරුවෙන් හිත හදාගත් මා රාත්‍රී 8 ට පමණ බුකිය වෙත ආවේ අනෙක් උන් class එනවා දැයි අසා දැනගැනිමටය....අපේ උන් මළත් රෑට බුකියට එන ජාතියේ උන්ය...





ගත් කටටම එකෙක් කිවුවේ
                       "අනිත්  class එකෙ උන leisure world යන්න සෙට් වෙලා, මමත් යනවා උබත් වරෙන්"  කියාය...

Wednesday, May 9, 2012

වෙසක් බැලීම......

ඔන්න ඉතින් 5 වෙනිද තියන වැඩ ඔක්කොම කරලා ඉවර වෙලා ගෙදරිනුත් ශෙප් කරගෙන පුටු පුටුවත් අරන් 7ට විතර එලියට බැස්සා සෙට් එකත් එක්ක වෙසක් බලන්න යන්න කියල... ඔහොම එලියට බැහැල හන්දියට එනකොට 4 දෙනෙක් එ වෙනකොටත් හන්දියට සෙට් වෙලා.... අනිත් උන එනකන් කියල වල් පල් කිය කිය පැය බාගයක් විතර ඉන්නකොට උන් 2ත් ආවා. කට්ටිය ඔක්කොම 7යි.. පුටු පුටු 4යි..





වෙසක් දවසෙම අපේ එකෙක් ගෙ උපන් දිනයක්.... වෙසක් බැලිල්ල පැත්ත්කින් තියලා සෙට් එකම ගියා උන්ගෙ ගෙදර.... මග දිගට දන්සැල් කොච්චර තිබුනත් පොලිම් වල දිග දැක්කම ඔනේ නෑ කියල හිතෙනවා.... බඩගින්නෙම ගියා අරුගෙ ගෙදර.... අපේ වෙලාවට උන්ගේ ගෙදර ඉස්සරහ මඤ්ඤොක්කා දන්සැලක්.... උටම කියල එතනින් ගෙන්නගෙන කාලා තෙත් බීල පැයක් විතර කතා කර කර හිටියා...

Friday, April 27, 2012

පංතිය.....

පංතිය යන වචනය ඇසෙන විට අපිට අපෙ ජිවිතේ පරණ මතකයන් සිහියට නැගේ. සමහරක් සුන්දරය, සමහරක් අසුන්දරය..... නමුත් ඒ කාලය මනරම්ය. තවම ඉගෙන ගන්න සමහරකුට පංතිය මතක් කිරීම මුහුන බෙරි වීමට හේතුවකි.. සමහරෙක් නැවත පංතියට යනතුරු නොඉවසිල්ලෙන් සිටි... පංතිය පාසැලෙ පංතිය හෝ ටියුෂන් පංතියවිය හැක....

තවත් පංතිය ඇත.. එය උපාධියේ පංතිය වේ... බොහෝ දෙනා වෙර දරන්නෙ 1st class උපාධියක් ගැනීමටය....

මේ නානාප්‍රකාර  පංති තුල තවත් ප්‍රසිද්ධ පංතියක් ඇත... ඒ සමාජීය  පංතිය වේ. පාසලෙ එකම  පංතියේ සිටි, ටියුෂන්  පංති වල එකට බංකු රත් කල අය එයින් පිටට ආ විට මෙසේ  පංති වලට බෙදෙන්නෙ කෙසේද? එසේ කිරීමට අයිතියක් ඇත්තේ කා හටද? අපි ඔක්කොම මැරෙන මිනිසුන්ය......


වත්කමින් ඉතාමත් පොහොසත්, ලොකු ලොකු කාර් තියන, රට වටෙ ඉඩම් තියන ලොකු ලොකු රැකියාවල් වල නිරත වෙන හෝ අති විශාල ව්‍යාපාර හිමි, මවු බස අමතක කර කඩ්ඩෙන් කොටන, තම ලමයින් ජාත්‍යන්තර පාසල් වලට යවන අය පලමු  පංතියේ අය වේ.

Wednesday, April 25, 2012

මටත් වෙන වැඩ.....

කම්මැලි කමෙ ඉන්න එකේ ඊයෙ පෙරේදා මට උන වැඩක් ගැන ලියලා දාන්න හිතුනා.


ගෙදර ඉන්න දවස නිසා ෆුල් ආතල් එකෙ නිදාගෙන ඉන්න කොට 10 ට විතර හෝ ගාලා මගෙ ජංගම දු.ක. ring වෙන්න පටන් ගත්තා.... මමත් නිදිමතේම ඇද උඩ අතගාලා අතගාලා දු.ක. හොයාගෙන "හෙලො" කිවුවා. මගෙ බොක්කෙ ෆිට් එකක් call කලෙ.



ඌ :- අඩො #^&*#* මොකද කරන්න්නේ?


මම :- මම නිදි යකෝ... මොකද උදේ පාන්දර වද දෙන්නේ?


ඌ :- නෙදකින් විතරක් තො තාම නිදිද? වරෙන්කො ඉස්කෝලෙ පැත්තෙ ගිහින් එන්න.... 


මම :- ම්ම්ම්ම් හා මම එන්නම්... උබ ගෙදරින් එනකොට msg එකක් දාපන්.


ඌ :- හෙල්මට් 2ක් අරන් වරෙන්... මම හන්දියේ ඉන්නම්...


මම :- හරි යකො මම ගෙන්නම්...



මම හිතින් උට බැන බැන ඇදෙන් නැගිටල මූන කට හෝදගෙන උදෙට සප්පායම් උනා.... එතකොටම අර යකා msg එකක් එවල තිබුන ඌ දැන් එන ගමන් කියල.
මමත් ඉතින් ඩෙනිමකුයි ටි එකකුයි දාගත්තා ඉස්කොලෙට යන නිසා. ලැස්ති වෙලා ඔලු 2කුත් අරගෙන මගෙ කබල් පුටු පුටුවට නැග්ගා. එතකොටම තව call එකක් ආව.

Monday, April 23, 2012

ඔන්න එහෙනම් පටන ගත්තෝ..........

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියල බ්ලොගියක් ලියන්න පටන් ගත්තා.

ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න හැමදාම බ්ලොගියක් ලියන්න පටන් ගන්න ඔනෙ කියල හිතුවට හැමදාම එක සොඩා බොතලෙ වගෙ වෙනව. හැමදාම හිතනව විතරයි. ඒ උනාට අද දන්න ඔක්කොම සෙල්ලම් දාල මොරාල් එක බහින්න නොදී බ්ලොගිය පටන් ගත්තා. නැකතක් නම් බැලුවෙ නෑ හැබැයි.......