Pages

Monday, July 15, 2013

බැඳීම, යැපීම, ජීවත්වීම

ඇත්තටම කෙනෙකුට තනියම ජීවත් වෙන්න පුලුවන්ද? මේ ප්‍රශ්නේ මගෙ හිතට ආවේ ලෙක්චර්ස් වලට පරක්කු වෙලා ඒක ඉවර වෙනකන්, ඉවර වෙලා සෙට් එක එලියට බහිනකන් පැත්තක තිබුන බෙන්ච් එකකට වෙලා ඇබ දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහ අහ ඉන්න අතරේ...

පොඩි කාලේ ඉඳන් අපි මැරෙන දවස් දක්වා කොච්චර බැඳීම් ඇති කරගන්නවද? ඒ ඇත්තටම අපිට තනියම මේ ලෝකේ ජීවත්වෙන්න අමාරු නිසා නෙමෙයි ද? මිනිස්සු වන අපි හැම වෙලේම හදන්නේ අපේ සමාජයීය සම්බන්දතා වැඩි කරගන්න.... ඒ මිනිසා කියන්න උපතින්ම සමාජයීය සත්වයෙක් හින්දා වෙන්න ඇති... හිතන්න මොහොතකට.... අපේ තියන සියලුම සම්බන්දතා එක පාරට නැති වෙලා ගියොත් අපිට මොනවා වෙයිද? ඒකත් හරියට උදේ ඇහැරෙනකොට කාන්තාරයක් මැද හිටියා වගේ හැඟීමක් වෙයි.

තනිකම කියන දේ ඇත්තටම මිනිස්සුන්ට දරාගන්න අමාරු දෙයක්.... මිනිස්සු සිය ගණනක් අතරෙ අඳුරන කිසිම කෙනෙක් නැතිව තනි වෙච්ච අවස්තාවල් බොහෝ දෙනෙක් ට ඇති.... ඒ වෙලාවට දැනෙන අපහසුතාව වචන වලින් කියන්න අමාරුයි.... කවුරු කොහොම කිවුවත් තමන් දන්න අය අතරේ ඉන්න එක, නාදුනන මිනිස්සු ගොඩක් මැද්දේ ඉන්නවට වඩා පහසු දෙයක්....





ඒත් මෙහෙම ඇතිකරගන්න සමහර සම්බන්දතා කාලයත් එක්කම නැති වෙලා යනකොට අපි ඒ වෙනුවට තවත් ආදේශකයක් හොයාගන්න උත්සාහ කරන්නේ ඒ වෙන්වීමෙන් ඇතිවුන අඩුව මකාගන්න... ඒත් සමහර වෙලාවට මෙහෙම ඇති කරගන්න සම්බන්දතා වල යැපෙන්න යොමු වෙන අපි ඒ සම්බන්දතා කුමක් හෝ හේතුවක් හින්දා නැති උනාම විශාල වශයෙන් දුක් විඳිනවා.... ඒ සමහර විට ඒ සම්බන්දතා වලින් අපේ ජීවිත වලට ලැබුන රුකුල නැතිවීම හෝ ලැබුන වින්දනය නැතිවීම නිසා හෝ වෙන්න පුලුවන්.

ඒත් නිකමට වගේ කාටවත් හිතුනද ඒ සම්බන්දතා පටන් ගත්තේ නැත්තම් කුමක් වෙන්න තිබුනද කියලා?

සම්බන්දතා බිඳීයාම හින්දා ජීවිතය කෙලවර කරගන්න පවා මිනිස්සු යොමු උනත් එහෙම තත්වෙකට පත්වෙන්නේ අතලොස්සක් විතරයි.... ඉතුරු අය සියල්ලම ඒ බිඳවැටුන සම්බන්දතා අමතක කරලා ජීවිතේ ඉදිරියට ගෙනියනවා.... කාලයක් ගත උනත් ඒ හැම හැඟීමක් ම අපේ හිත් වලින් ඈතට යනවා. සමහර විට අලුත් හැඟිමක් හිතේ ඇතිකරන ගමන්ම...



පොඩි කාලේ ජීවිතේ වගේ එකට හිටපු යාලුවො අද නෑ, එයාලා වෙනුවට අද සමහර විට අලුත් අය ඉන්නවා, කාලෙත් එක්කම මේ බැඳීම වෙනස් වෙලා තවත් අලුත් බැඳීම් ඇති වෙන්න පුලුවන්.... හොඳම දේ මොන බැදීමකවත් යැපෙන්න පුරුදු නොවී ජීවත් වෙන එක.. ඒතකොට බැඳීම් නැති උනත් ඇති උනත් ජීවිතේට ඒ දේවල් බරක් වෙන්නේ නෑ...

අපි කාටවත් තනියම ජීවත් වෙන්න බෑ...... තනියම ජීවිතේ විඳින්නත් බෑ.... ජීවිතේ ලස්සන කරන්නේ අපි ඇතිකරගන්න සම්බන්දතා.... ඒ සම්බන්දතාම අපේ ජීවිත නැති නොකරන්න අපේ හැඟීම් පාලනය කරන්න අපි දැනගන්න ඕන...

6 comments:

  1. ඒ සම්බන්දතාම අපේ ජීවිත නැති නොකරන්න අපේ හැඟීම් පාලනය කරන්න අපි දැනගන්න ඕන...


    සිරා

    ReplyDelete
    Replies
    1. කිවුවට කරන එක තමයි ටිකක් අමාරු

      Delete
  2. සමස්ථ ජීවිතයම ගනු දෙනුවක් වෙඩික්කාරයා. මම විතරනම් ලොව සිටින්නේ ඒ තත්ත්වය එදාට නැතිවෙයි. මේ ගනු දෙනුවේ ස්වභාවය අනුව රස නීරස වෙනස් වෙනවා. පැතිය යුත්තේ හොඳ ගනු දෙනුවක්.

    ReplyDelete
    Replies
    1. දෙනු පැත්ත කොහොම දුන්නත් ගනු පැත්ත ගැන අපි වැඩියෙන් සැලකිල්ලක් දක්වනවා නේද?

      Delete
  3. ඒත් වෙලාවකට නම් හිතෙනව ඔක්කොම අත ඇරලා කවුරුත්ම නාදුනන පලාතකට ගිහින් ඉන්න ඇත්නම් කියලා..

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.