Pages

Tuesday, November 6, 2012

ලස්සන නිසාම කැන්දන් ආවට...

ඊයෙ දවල් යලුවෙක් ගෙ මාලු ටැංකියක ලීක් එකක් කියල ඒක අලවන්න දෙන්න ටිකක් ලොකුවට කරගෙන යන සුරතල් මසුන් විකුණන තැනකට ගියා.... අපිටත් සතෙක් දැක්කම බලන්නෙ නැතුව ඉන්නම බෑනෙ. ටැංකියත් පැත්තකින් තියල අපි ගියා මාලු බලන්න...... එතන ජොඩුවක් රුපියල් 25 ඉදලා එකෙක් රුපියල් 50000 වෙනකම් මාලු ජාති හිටියා. ඔන්න ඔය අස්සෙ තමයි ටැංකියක දාලා හිටපු පුංචි ඉබි පැටව් වගයක් දැක්කෙ. ඇත්තටම දැක්කම ආසා හිතෙනවා... ගණන් අහපුවහම එකෙක් 350 ලු... අතේ සල්ලි තිබුනෙත් නැති හින්දා තව ටිකක් වෙලා බල බල ඉදලා ගෙදර ආවා... එන ගමන් මගෙ යලුවට කිවුවා ගණන් වැඩි නැද්ද බං අර ඉබ්බො කියලා... ඒ පාර ඌ කියපි ගණන් වැඩි නම් තමයි බං, ඒත් සතෙකුගෙ උනත් ජීවිතෙකට ගාණක් කියන්නෙ කොහොමද බං කියලා.... ඇත්තටම අපි කොහොමද අපිට අයිති නැති ජීවිතයකට වටිනාකමක් ප්‍රකාශ කරන්නේ?





දැන් මේ මාලු ප්‍රශ්නෙදි 2 පැත්තක් තියනවා, එකක් මාලුවගේ පැත්ත, අනික අපේ පැත්ත...



මාලුවගෙ පැත්ත සලකලා බැලුවහම ඇත්තටම උගේ ජීවිතේ තියෙන්නෙ වීදුරු බිත්ති 4ක් මැද්දේ, සමහර විට පොඩිම කාලේ කොන්ක්‍රීට් වලක් ඇතුලේ... ඌට උගේ ලෝකෙ වෙන්නෙ ඒ ටික විතරයි... වීදුරුවෙන් එහාට තවත් ලෝකයක් තියනවා කියලා ඌ දැක්කට ඌට ජීවිතේ ගෙවන්න වෙලා තියෙන්නේ ඝන අඩි 10ක්, 12ක් වෙච්ච පොඩිම පොඩි ලොකෙක... එකෙම ඉපදිලා ඒකෙම ජීවත් වෙලා ඒකෙම මැරිලා යනවා.... අපි ගේ ඇතුලෙන් හරි කාමරෙන් හරි ජීවිතෙට එලියට බහින්නෙ නැතුව ජීවත් වෙනවා වගේ.... අපිට එහෙම උනා නම් ඒකාකාරී බව නිසාම අපි ලෙඩ වෙලා මැරිලා යයි නේද?

සමහර වෙලාවට මාලුවා කඩේ හිටපු ටැංකියට වඩා අපි ගෙදර ගෙනල්ලා දාන ටැංකියේ ඉඩ කඩ වැඩි වෙන්න පුලුවන්, ඒත් අපේ ජීවිත වලට යම් සුන්දරත්වයක් ගේන්න බිත්ති 4කට කොටු වෙලා ජීවිතයක් ගෙවෙන හැටි! නිකමටවත් මේ දේ හිතිලා තියනවද? සමහර විට ඒ කරන කැප කිරීම අපිට ඇසට පමණක් පේන තත්පර 2 3 කට උනාට උන්ගේ මුලු ජීවිතේම අපේ තත්පර 2 3 ට ගෙවිලා යනවා....



අපේ පැත්තෙන් බලමු.... ඇත්තටම මාලු හදන්න ගොඩක්ම යොමු වෙන්න පොඩි අය. පොඩි කාලෙ කොච්චර ආසාවෙන් හැදුවත් ලොකු වෙනකොට ඒ ආසාවල් ගොඩක් අයගෙන් ඈත් වෙලා යනවා.... සමහර විට දවසම ඉස්සරහට වෙලා හිටපු මාලු ටැංකිය ටික කාලේකින් අමතක වෙනවා, සමහර විට ඒකෙ දියසෙවල බැඳිලා අපට නොපෙනිම මාලු ටිකත් මැරිලා ගිහින් තිබුන අවස්තා කොච්චර ඇතිද? මාලුවෙක් කියන්නේ සුලු ගාණක දෙයක් උනාට අපි ඒ සුලු ගානට මිලදී ගන්නේ කාගෙ හරි ජීවිතයක වගකීමක් නෙමෙයිද? එහෙම මිලදීලා ගන්න වගකීම හරි ආකාරව ඉටු කරන්නේ කීයෙන් කී දෙනාද?


ලස්සන නිසාම සල්ලි දීලා අරන් ඇවිත් ලස්සන් ටැංකියක දාලා සාලෙ මැද්දෙන්ම තියලා තියෙන්නේ පණ තියන ජීවිත ගොඩක්... අපිට ඒ ජීවිත වලට අපේ වගේ ලෝකයක් හදලා දෙන්න බැරි උනාට අපිට දෙන්න පුලුවන් හැම සැප පහසු කමක් ම දෙන්න ඔනේ නේද? සමහර විට විනාඩියක් වත් මඟ නොහැර වේල් 3ම කන අය ගෙදර තියන මාලු ටැංකියට කෑම දාන්නෙ කී පාරද? ඒ උනාට සමහර අය නම් ඉන්නවා තමන්ගේ දරුවො වගේ මාලු හදන අයත්.... ඒ මිනිස්සු නම් තමන් ගත්ත වගකීමට සාධාරනයක් ඉටු කරනවා කියන්න පුලුවන්...






වීදුරු බොල් වල දාලා තනි මාලුවෙක් හදන අය ඔයාලත් දැකල ඇති නේද? ඒ මාලුවගේ ජීවිතේ මොන වගේ ඇත්ද? මාලු ගොඩාක් හිටපු ටැංකියකින් අරන් ඇවිත් රවුම් බොල් එකක් තනියම දාලා ජීවිතේ ඉතුරු කාලේ ඒ විදියටම ගෙවන්න උනාම? සියදිවි නසාගන්න ඔනෙ උනත් ඒකත් කරන්න බෑනෙ ඒ මාලුවට... ෆයින්ඩින් නෙමො නම් ගොඩක් අය බලල ඇති මං හිතන්නේ..... අපේ ගෙවල් වල මාලු ටැංකි වලත් නීමො ල කී දෙනෙක් ඇත්ද?



අපි දේශපාලනයට බනිනවා, දේශපාලනය කරන අයට බනිනවා, පොඩ්ඩක් හිතල බලන්න ගෙදර තියන මාලු ටැංකිය රටක් නම්, ඒක පාලනය කරන්නේ අපි නේද? එහෙනම් ටැංකි වල ඉන්න මාලු අපිට මොන කුණුහරපෙන් බනිනවා ඇත්ද? :S


මේක මාලුන්ට විතරක් නෙමෙයි ගොඩක් සත්තුන්ට පොදුයි... මම කියන්නේ සුරතල් සත්තු ඇති කරන්න එපා කියලා නෙමෙයි... එහෙම කරනවනම් කරන්නම් වාලේ නොකර වගකීමක් ඇතුව හරියට කරන්න කියන එක... මොකද සල්ලි දීලා ගත්තත් ඒ ජීවිත අයිති ඒ සත්තුන්ට, අපිට වගේම නිදහසේ, සුවපහසුවට ජීවිතය ගෙවන්න ඒ සත්තුන්ටත් අයිතියක් තියනවා.....


11 comments:

  1. මමත් ඔය වගේ දේවල් දැකල තියනවා. සතුන් අරන් ඇවිල්ල මුලදී කරන සැලකිල්ල නෑ පහු වෙනකොට. කොහොමත් මං සතුන් ඇති කරන්නේ නෑ. ඔබ කිව්වා වගේ ඇති කරනවා නම් සතාට උනත් අවශ්‍ය ඉඩකඩ හා අනෙක් පහසුකම් ගැන බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. එක අතකින් සත්තු හදන්නෙ නැති එකත් හොඳ දෙයක්

      Delete
  2. පවු අෆ්ෆා අහිංසක සත්තු

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඔහොම හිතෙන්නෙ නැති එකනේ ප්‍රශ්නෙ

      Delete
  3. කතාවනම් ඇත්ත මලයා.. කරන්නම් වාලේ කරන්න ගියාම නැති වෙන්නේ ඒ අහිංසක සත්තු..

    ReplyDelete
    Replies
    1. කරන්නම් වාලේ වැඩ ගොඩක් අපි කලාට මේ වැඩේ එහෙම කරන්න පුලුවන් එකක් නෙමෙයි

      Delete
  4. අද ආවේ මේ පැත්තට...ඇත්තම ඇත්ත තමයි කතාව..

    ReplyDelete
  5. හුම්ම් ඇත්ත තමයි... මාළු හදන වැඩේ දි නම් මං අපේ තාත්තටත් තදින් ඉන්නේ.. කරන්න බැරි නම් නිකං ඉන්න කියල.. අදයි මේ පැත්තේ ආවේ මං පණුච්චි..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.