Pages

Thursday, May 16, 2013

තවත් දවසක් II

පලවෙනි කොටස

"අනේ මංදා බං.. මට කරන කියන කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්නේ.. කවදා වෙනකම් මෙහෙම විඳවන්නද බං මම" මට කියවුනේ ඔය වචන ටික විතරයි..

"කොහොම හරි ට්‍රයි කරලා හිත හදාගනින් බං. වෙන මොනවා කරන්නද? උබ ඔහොම හිටියයි කියල කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑනෙ බං"



මටත් වෙලාවකට ඔය දේම හිතට ආවත් හිත හදාගන්න තියා උන දෙයක් හිතාගන්න වත් මට පුලුවන් කමක් තිබුනේ නෑ.... ඇත්තටම මගේ හිත ඇතුලේ මොලයයි හදවතයි කියන දෙක යුද්ද කරන්න පටන් අරන් තිබුනත් හදවතේ තියන හැඟීම් ඉස්සරහා මොලේ පරාද වෙලයි තිබුනේ... යතාර්තය කොච්චර හොදට දන්නවා උනත් ඒ දේ හිතට කාවදින්න හැඟීම් ඉඩ දුන්නේ නෑ.... බලාපොරොත්තු, අරමුණු කියන දේවල් නැති වෙන එක මරණයට වඩා අමාරුයි කියන එක මට තේරුනේ මේ හැම දේම සිද්ධ උනාට පස්සෙ.... ජීවත් වෙන්න හේතුවක් නැතුව ඉන්නවට ඉන්නවා කියන එක ඇත්තටම අමාරු දෙයක්.

"මම ජොබ් එකෙන් අයින් වෙනවා බං... මම ලංකාවේ ඉන්නේ නෑ. මෙහෙම ඉන්න ගියොත් මට පිස්සු හැදෙයි බං... ගෙදර උන්ට පේන්න තවත් මට හිනා වෙන්න බෑ. "

මේක අහපු ගමන් අරූ කිවුවේ " තොට පිස්සුද යකෝ?" කියලා

"උබ මෙහේ ඉඳලත් මෙහෙම නම් වෙන කොහෙ හරි රටකට ගියාම උබ මොනවා කරයි ද කියලා උබට හිතෙන්නේ නැද්ද? "

"වෙන මොනවා කරන්නද බං, මෙහෙ තියන ගහක් ගලක් දකිනකොට මට මතක් වෙන්නේ ඒකිව... මේ හැම දේම දැක දැක තවත් ඉන්නේ කොහොමද බං?  


තව ටික දවසකින් එක එකා අහන්න පටන් ගනී මොකද උනේ කියලා. මට ඔය ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ බං"  

"අනේ මංදා එත් ටික දවසක් ඔහොම හිටපන් මොකද වෙන්නේ බලන්න" ඌ කිවුවේ මම මේ වෙලාවෙ කොච්චර අසරණද කියලා උට තෙරුන නිසා වෙන්න ඇති...

කතා කර කර පැය 4ක් 5ක් ඉඳලා මම ගෙදර යනවා කියලා එලියට බහින්න හදනකොට අරූ මාව නවත්තගන්න හැදුවත් බොහොම අමාරුවෙන් මම යන්නම් කියලා ආපහු නැග්ගා බයික් එකට... 

අරමුණක් නැතුව පාරට බැස්ස මම අන්තිමට නැවතුනේ හැමදාමත් හුරු පුරුදු ඒ බීච් එක අයිනෙ... බයික් එකෙන් බැහැලා ගිහින් හැමදාමත් ඉඳගත්ත ඒ සුපුරුදු බංකුව ගාවට ගිහින් ඉඳගත්තේ වෙන තැනක ඉඳගන්න හිත ඉඩ දුන්නේ නැති නිසාමයි.



වෙනදා එයත් එක්ක ඉඳගත්ත තැන අද මම විතරක් තනියම... මේ බීච් එකේ පැය ගණන් කතා කර කර ඇවිද්ද හැටි මට මතක් උනේ ඒ මොහොතෙම තමයි... ඒ පිස්සු කතා අහ අහ මම කොච්චර හිනා වෙන්න ඇද්ද? ඒත් අද ඒ කතා මතක් වෙනකොට ඇස් වලට කඳුලු ආවා මිසක් හිනාවක් නම් ආවෙ නෑ... විවේකයක් නැතුව රැලි එන මූද දිහා බලාගෙනම මම කල්පනාවකට වැටුනා..... තත්පර විනාඩි, විනාඩි පැය උනේ මටත් නොදැනිමයි.... ආපහු පියවි සිහියට එනකොට ඉරත් බැහැලා යන්න ඔන්න මෙන්න...

එහේ මෙහේ අත් අල්ලන් ඇවිදින ජොඩු වලින් බීච් එක පිරිලා.... වෙන දවස් වලට මෙච්චර සෙනගක් මෙතනට එනවා කියල වත් මට නිච්චියක් තිබ්බේ නෑ... ඒක තෙරුනේත් තනිවෙලා මෙතනට ආපු වෙලාවට පස්සෙ.... ෆොන් එක අතට අරන් එයාට කොල් එකක් ගත්තේ කටහඬ වත් අහන්න ඔනේ කියලා ආසාවක් හිතට ආපු නිසා... ඒත් ෆොන් එක රින්ග් වෙන්නත් කලින් මට ඇහුනේ " ඔබ අමතන ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත" කියන එක විතරයි.... එයා සිම් එකත් මාරු කරලා... තිබුන අන්තිම බලාපොරොත්තුවත් නැතිවෙලා ගියේ හිතා ගන්න බැරි තනිකමක් පාලුවක් හිතට එක් කරලා..

කාට හරි නිදහසේ අත් අල්ලන් ඉඳගෙන කතා කරන්න පුලුවන් තැන මම නැතිකරන්නේ මොකටද කියලා ඉඳන් හිටපු තැනින් නැගිටලා කාට හරි මෙතන ඉඳගන්න දෙන්න ඔනේ කියලා හිතලා මම නැගිටලා ආපහු කපල් වලින් පිරිච්ච බීච් එක දිහා අන්තිම වතාවට බලලා බයික් එක පැත්තට ඇවිදගෙන ආව... ලඟ කඩේක තිබුන රෙඩියෝ එකකින් ගියපු සිංදුවක් පේලියක් ලාවට වගේ කනට ඇහුනා...

" ...එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවලක් යන රඟ... මටත් ඔහොම ගිය හැටි මතකයි.... මට හොඳ හැටි මතකයි.... "

ආපහු බයික් එකට නැගලා ටික දුරක් යන්න හම්බවුනේ නෑ යන්තම් වැස්සක් පටන් ගත්තා.... තව මොනවා වෙන්නද කියලා තෙමීගෙනම එයාගේ ගෙවල් ලඟ හොල්ට් එක ගාවට ගියේ මූණ වත් බලාගන්න කියලා.... හොල්ට් එක ගාව බයික් එක නවත්තගෙන එන බස් දිහා බල බල හිටියේ වහලා තිබුන කඩේක අගුව යටට වෙලා වැස්සෙන් බේරෙන්න.. දැන් එයි දැන් එයි කියලා බලන් හිටියත් පැය 2ක් විතර යනකන් ආපු කිසිම බස් එකක එයා ආවේ නෑ... තවත් මෙතන ඉඳලා තෙරුමක් නෑ කියල හිතලා ගෙදර එන්න පිටත් උනේ වැස්සෙමයි.... වතුර බේරි බේරි ගෙදර ආපු මම ඇඳුම් මාරු කරලා ඇඳට වැටුනේ වෙන කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැති නිසා... ආපහු කල්පනා සාගරෙක වැටුන මට නොදැනුවත්වම නින්ද ගිහින්.... යන්තම් එක දවසක් ඉවරයි... ඒත් උදාවෙන ඊලඟ දවස? 

6 comments:

  1. ආසාවට බූට් එකක් කාලා නැති හින්දා මොනවා කියන්නද මන්දා....

    ReplyDelete
    Replies
    1. කෙල්ලක් වුණාම බූට් එකකුත් කන්න ඕන අනේ.. හි හි..

      Delete
  2. මේ කොලුවට හිතෙන හැටි හිතාගන්න බෑ.. :(

    ReplyDelete
    Replies
    1. මීට කලින් හිතන එවුන් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න :D

      Delete
  3. ඉක්මනට ඊළඟ කොටස දාන්න, සහෝදරයා! කතාව හිතට ඇල්ලුවා.

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.